පෙබ. 04 ව්‍යවස්ථා නෑ. ඡන්ද ළං වෙද්දී ජාතිවාදියෝ පිනුම් ගහනවා - අනුර

පෙබරවාරි 04 වනදාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන එනු ඇති බවට ඇතැම් ජාතිවාදී කොටස් ප්‍රකාශ කළත් අවම වශයෙන් ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මැතිවරණයක් ආසන්න වන සෑම විටම විවිධ වර්ගයේ ජාතිවාදයන් කරළියේ බඩපිනුම් ගසන බවයි.

එසේම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණත් වත්මන් පාර්ලිමේන්තුවේ බලතුලනය අනුව එය සම්මත කරගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබා ගැනීමට නොහැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතා සමඟ මන්ත්‍රීවරුන් 95 දෙනෙකුවත් සිටින්නේ නම් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ හැකියාවක් කොහෙත්ම නොමැති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එහෙයින් මෙම ව්‍යවස්ථා කතාවට මුවා වෙමින් ඇත්ත සමාජ ප්‍රශ්න යට ගැසෙන බවත් සමාජයේ අවධානයට යොමු විය යුත්තේ කවර ප්‍රශ්නයද සමාජයේ අවධානයට යොමු නොවිය යුත්තේ කවර ප්‍රශනයද යන්න තීරණය කරනා ක්‍රියාධරයින් බවට අද ජනමාධ්‍ය පත්ව ඇතැයි ද ඒ මහතා අවධාරණය කළේය.

ආණ්ඩුවට එරෙහි මාධ්‍ය ආයතනවලට රජයේ ආයතනවල වෙළඳ දැන්වීම් ලබා නොදීමේ සූදානමක් පිළිබඳ පළ වන පුවත් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අනුර දිසානායක මහතා පැවසුවේ රජයේ ආයතනවල වෙළඳ දැන්වීම් සඳහා වෙන් කරන මුදල් යනු ජනතාවගේ මුදල් බැවින් ඒවා ආණ්ඩුවට හිතකරද නැද්ද යන්න මත වෙළඳ දැන්වීම් ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගන්නේ නම් එය කිසිසේත් සාධාරණ නොමැති බවයි.