gossip lanka

සෝභිත හිමිට ජනාධිපතිවරණයට එන්න එපා කිව්වේ රනිල් - අසාද් සාලි

පවුල් වාදය තුළ ගැටලු රැසක් නිර්මාණය වී ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් වනු ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයකු වෙනුවෙන් කියා නිම කළ නොහැකි කාර්යභාරයක් සිදු කළ ඔහුගේ ආගමනය මේ වන විට ප්‍රකාශ කළ නොහැකි නමුත් ප්‍රමාද වී හෝ ඔහු කරළියට පැමිණෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් අසාද් සාලි මහතා ඊයේ මහනුවරට පැමිණ අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

අනතුරුව මහනුවර මීරා මක්කම් මුස්ලිම් පල්ලියට ගිය ඒ මහතා එහිදී ආගමික වතාවත්වල නිරත වී පසුව මල්වතු මහ විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

මහ නායක හිමිපාණන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ආණ්ඩුකාරවරයා මෙසේ කීවේය.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා හෝ මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරිපත් වෙතැයි අප අපේක්‍ෂා කළා. නමුත් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් තමන් ඉදිරිපත් වන බව කී රනිල් වික්‍රමසිංහ මහතා සෝභිත හිමියන්ට අපේක්‍ෂකත්වයෙන් ඉවත් වෙන්නැයි දැනුම් දුන්නා. නමුත් පසුදින දැනගන්න ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන බවයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉදිරිපත් වීම ගැටලු සහගතයි. ගෝඨාභය, බැසිල්, චමල්, මේ සියලු දෙනාම ජනපති අපේක්‍ෂකයන් ලෙස ඉල්ලන්න අපේක්‍ෂා කරනවා. මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ, මම කවුරුවත් තවම නම් කරලා නැති බවයි. ඒ නිසා ඒ තුළ ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා.

දැන් කළ යුත්තේ මේ සියල්ල විසදා ගෙන කොහොමහරි පොදු අපේක්‍ෂකයා ඉදිරිපත් කරන එකයි. නැත්නම් මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න බැහැ.ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්ද ඉතා වැදගත්. ඩයස්පෝරාවේ අවශ්‍යතාවට කටයුතු කරමින් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ක්‍රියාත්මක වීම තුළින් ඡන්ද බලය අඩු වෙනවා.

රටට ව්‍යවස්ථාව ගෙන එනවා නම් ආණ්ඩුව බලයට පත් වූ මුල් සමයේදී එය සිදු කළ යුතුයි.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික පක්‍ෂ නායකයන් කරන ප්‍රකාශය එක්සත් ජාතික පක්‍ෂයට විශාල හානියක්.

මහින්ද රාජපක්‍ෂ, චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයන්හිදීද ව්‍යවස්ථාවක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වුණා. දැන් කළ යුත්තේ ඒ ඒ පාලකයන් ඉදිරිපත් කළ ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කොට මහ සංඝරත්නය, ආගමික නියෝජිතයන් සහ ජනතාවගේද ආශීර්වාදය මත රටට සුදුසු ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා මේක සුදුසු අවස්ථාව නොවෙයි.
gossip lanka