අධිකරණයේදී ගෝඨාට අතට අත දුන් අසේලට අවවාද !

වෘත්තීය ගරුත්වය රැකගෙන අධිකරණය තුළදී කටයුතු කිරීමට වගබලාගන්නා ලෙස කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ 67 වැනි සාක්‍ෂිකරු වන පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ඩබ්ලිව්. එම්. ඒ. එස්‌. අසේල ඉද්දවෙල මහතාට ඊයේ (25 දා) අවවාද කළේය.
එම නිලධාරියා අධිකරණයට කැඳවා ඇත්තේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට මිස විත්තිකරුවන්ට අධිකරණය තුළදී අතට අත දී පිළිගෙන ආචාර සමාචාර පවත්වා සතුටු සාමිචියේ යෙදීමට නොවන බව පවසමින් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස අවවාද කළේය.


රජයේ ඉහළ තනතුරක්‌ දරන එම සාක්‍ෂිකරු විශේෂ මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත් දෙනකුට එරෙහි පවරා ඇති නඩුව කැඳවූ පසුගිය 22 වැනිදා වාඩි වී සිටි තැනින් නැගිට එම නඩුවේ පළමුවැනි විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා අසලට ගොස්‌ ඔහුට අතට අත දී ආචාර සමාචාර පවත්වා ඇති බවත් විත්තිකරුවකු සමඟ එලෙස අධිකරණ ශාලාව තුළදී හැසිරීම පැමිණිල්ල කිසිසේත්ම අපේක්‍ෂා නොකරන බවත් දිලීප පීරිස්‌ මහතා එහිදී සඳහන් කළේය.

පැමිණිල්ල මෙහෙයවන තමා කටයුතු කරනුයේ විත්තිකරුවන්ගේ හා සාක්‍ෂිකරුවන්ගේ තරාතිරම හෝ වෙනත් අවශේෂ කරුණු අනුව නොවන බව ද එහිදී පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැමිණිල්ලේ යම් සාක්‍ෂිකරුවකු සිය තනතුරු ගරුත්වය ආරක්‍ෂා නොකරන ලැඡ්ජා සහගත අයුරින් කටයුතු කරන්නේ නම් ඒ බව පෙන්වා දීමට තමා පසුබට නොවන බව ද කීවේය.

නොදැනුවත්කම නිසා:

තමා එලෙස කටයුතු කළේ නොදැනුවත්කම නිසා බව එහිදී එම සාක්‍ෂිකරු අධිකරණයට ප්‍රකාශ කළේය. එම සාක්‍ෂිකරුට පෞද්ගලික සංචාරයක්‌ සඳහා ලබන 2 වැනිදා සිට 4 වැනිදා දක්‌වා ඉන්දියාවට යැමට එහිදී අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල පැමිණිල්ලේ තුන්වැනි සාක්‍ෂිකාර ලංකා විදුලිබල මණ්‌ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් ප්‍රනිත සෙනවිරත්න මහතාට ද ලබන 16 වැනිදා සිට 23 වැනිදා දක්‌වා ජපානයට යැමට ද අවසර ලබාදුන්නේ ය.

එම නඩුවේ පැමිණිල්ලේ 53 වැනි සාක්‍ෂිකාර ඉඩම් ගොඩකිරීමේ සංස්‌ථාවේ අධ්‍යක්‍ෂ සුරේෂ් බණ්‌ඩාර අතපත්තු නමැති අයට රුපියල් ලක්‍ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත ඔස්‌ට්‍රේලියාවට යැමට අවසර ලබාදුන්නේ ය. අධිකරණය විසින් දැනුම් දුන් විටෙක පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද විනිසුරු මඩුල්ල එහිදී සුරේෂ් බණ්‌ඩාර අතපත්තු මහතාට අවවාද කළහ.

දිවයින
gossip lanka