'අලුත් ව්‍යවස්තාවක් අවශ්‍ය නෑ' - අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් කියති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අවශ්‍ය නැති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් කියා සිටිති.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එම විහාරස්ථානයට ගොස් උන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ පළාත් සභා මැතිවරණය මිස ව්‍යවස්ථාවක් නොවන බව ද පැවසූ මහනාහිමියෝ මැතිවරණය ඉක්මන් කිරීම වඩා වැදගත් බව ද කියා සිටියහ.

ඉන් අනතුරුව රාජ්‍ය ඇමතිවරයා මල්වතු මහා විහාරයට ගිහින් ගොස් මල්වතු නා හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.

මල්වතු මහනාහිමියන් එහිදී නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රට තුල විරෝධයක් මතුව ඇති බව පෙනෙන්නට තිබෙන බව කියා සිටියහ. ජනතාව මේ මොහොතේ ජීවත්වන්නේ අසීරුවෙන් බවත් ඊට වැඩ පිළිවෙළක් අවශ්‍ය බවත් උන්වහන්සේ එහිදී කියා සිටියහ.