මුදල් අමාත්‍යාංශය යටතේ මාධ්‍ය තිබීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නෑ - බන්දුල

කුමන දේශපාලන මතයක් දැරුවත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මාධ්‍ය නිදහස අපි ගරු කළ යුතු බවත් අපේ රටේ මාධ්‍ය භාරකාරත්වය මුදල් අමාත්‍යාංශය යටතේ තිබීම නිදහස් මාධ්‍යයට හිතකර නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන දැන්වීම් මාධ්‍ය ආයතනවලට නොදී සිටීම මඟින් බලපෑම් කිරීමේ හැකියාව තිබෙන බවත් මේ හේතුවෙන් මාධ්‍ය ආයතනවලට ආණ්ඩුවට හීලෑවීමට සිදුවන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

එම නිසා අගමැතිතුමත් මුදල් ඇමැතිතුමත් ජනමාධ්‍ය සම්බන්ධ ආයතනත් මාධ්‍යට සිය රාජකාරි නිදහසේ කරගෙන යෑමට ඉඩ ලබාදෙන ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් ඊයේ (02දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

'මාධ්‍ය මර්දනයක් දියත් වෙනවා'

''ආණ්ඩුව බලයට පත් වීමෙන් පස්සේ මාධ්‍ය මර්දනයක් දියත් වෙනවා. මාධ්‍ය ආයතන බොහොමයක් කළු මාධ්‍ය ආයතන ලෙස අගමැතිවරයා කළ ප්‍රකාශයත් සමඟයි මේ මර්දනය ඇරඹුණේ.

දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය ආයතනවලට බලපෑම් එල්ල වුණා. ස්වාධීන රූපවාහිනි සේවකයන් විශාල පිරිසක් වැඩ තහනමට ලක්කරලා. තනතුරු වෙනස් කිරීම් හා බඳවා ගැනීම් සම්බන්ධයෙන් සේවකයන් විරුද්ධ වීම නිසයි මෙහෙම වෙලා තියෙන්නේ.

ගලබොඩ ඥානිස්සර හිමියන්ට සෙත් පැතීමේ බෝධිපූජා පින්කමට පක්ෂ පාට භේදයෙන් තොරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස මහතා, හර්ෂ ද සිල්වා වැනි පිරිස් සහභාගි වුණා. එහිදී මම මාධ්‍ය මර්දනය සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. කුමන දේශපාලන මතයක් දැරුවත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මාධ්‍ය නිදහස අපි ගරු කළ යුතුයි.

මහජනයාගේ බදු මුදල් භාවිත කරලා වැරැදි තොරතුරු ප්‍රචාරණය කිරීම සාධාරණ හා යුක්ති සහගත වෙන්නේ නැහැ. එය ජනතා මුදල් අවභාවිතයක්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ අගමැතිතුමත් මුදල් ඇමැතිතුමත් ජනමාධ්‍ය සම්බන්ධ ආයතනත් මාධ්‍යට සිය රාජකාරි නිදහසේ කරගෙන යෑමට ඉඩදිය යුතුයි.''