ප්‍රීමා, කාර්ගිල්ස්, ආර්පිකෝ, ලාෆ්, කීල්ස් තිරිගු පිටි මාෆියාවක

තිරිඟු පිටි අලෙවිය සඳහා උපරිම මිලක් නියම කර තිබියදී ප්‍රීමා, කාර්ගිල්ස්, ආර්පිකෝ, ලාෆ්, කීල්ස් හා සතොස කිලෝග්‍රෑමයේ පැකට් සකස් කර ඉහළ මිලකට අලෙවි කර පාරිභෝගිකයන් ගසා ගෙන කෑමේ ජාවාරමක නිරතව සිටින බව හෙළිව තිබේ.

2015 පෙබරවාරි 20 දින අංක 1902/55 අති විශේෂ ගැසට් පත්‍රය මගින් තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 බෑගයක ඇති කිලෝග්‍රෑමයක් රුපියල් 87 බැගින් අලෙවි කළ යුතු බවට නියෝගයක් නිකුත් කර ඇතත් කිලෝග්‍රෑමයේ පැකැට්ටුවක් සඳහා උපරිම මිලක් එම ගැසට්ටුවේ නොවේ.

කිලෝග්‍රෑමයක පිටි පැකට්ටුවක් විකිණිය යුතු මිලක් සටහන්ව නොවීමේ වාසිය ලබාගෙන තොගමිල රුපියල් 87ක් පමණ වන පිටි කිලෝවක් රුපියල් 120ත් 140ත් අතර මිල ගණන් වලට විකුණන බව පැවසේ.

ලංකා සතොස පැකට් කරනු ලබන පිටි කිලෝ ග්‍රෑම් එකක් විකුණනු ලබන්නේ රුපියල් 109ක් වැනි මිලකටය. පිටි පැකට් කරනු ලබන අනෙකුත් ප්‍රධාන සමාගම් වන ප්‍රීමා, කාර්ගිල්ස්, ආර්පිකෝ, ලාෆ් හා කීල්ස් යන සමාගම් රුපියල් 120ත් 140ත් අතර මිලකට තිරිඟු පිටි කිලෝවක පැකට්ටුවක් අලෙවි කරනු ලබයි.

ඒ අනුව සතොසට පිටි කිලෝග්‍රෑමයකි රුපියල් 22ක ලාභයක් ලැබෙද්දී අනෙක් ව්‍යාපාරිකයින් රුපියල් 53කට අධික ලාභයක් උපයන බව මේ අනුව වාර්තා වේ.

මේ තිරිඟු පිටි පැකට්කර විකුණන ඡාවාරමේ ප්‍රබල ඇමැතිවරයකුගේ සහෝදරයකුද සිටින බවට තොරතුරු වාර්තා වේ.

ප්‍රධාන සමාගම් දෙකකට තිරිඟු පිටි අපනයනයට අවසර ඇත.

මේ දිනවල තිරිඟු ඇට ටොන් එකක් ඩොලර් 220 වන අතර ඒ සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 6ක බද්දක් අය කරයි.

එහෙත් පිටි ආනයනයේදී රුපියල් 16ක බද්දක් අයකිරීම නිසා වෙනත් ව්‍යාපාරිකයින් පිටි ආනයනයට යොමු නොවේ.

මසකට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 65,000ක් රට තුළ අලෙවි වන බව වාර්තා වේ.