බැඳුම්කර වංචාව ; විමර්ශන 2020ටත් ?

ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සමස්ත බලපෑම සම්බන්ධ කරුණු තහවුරු කෙරෙන වෝහාරික විගණනය 2019 වසර අවසන් වීමට පෙර නිමා කළ හැකිවනු ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ශ්‍රී ලංකා මහබැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම වෝහාරික විගණනය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා එල්ල කළ චෝදනාව පිළිබඳ විමසීමේදී මහබැංකු අධිපතිවරයා පැවසුවේ වෝහාරික විගණන සඳහා විවිධ අවස්ථාවල විවිධ කාල ප්‍රමාණයන් ගතවන බවයි.

ඇතැම් අවස්ථාවල විගණනය සඳහා මාස දෙකක් හෝ තුනක් ගතවන නමුත් දීර්ඝතම විගණනය සඳහා මාස 9ක් පමණ ගතවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

සියලුම දේ නියමිත කාලසටහනකට අනුව සිදු වුවහොත් මේ වසර අවසාන වන විට සියල්ල නිම කිරීමේ හැකියාවක් ද පවතින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෝප් කමිටු වාර්තාවෙන් සහ විගණකාධිපති වාර්තාවලින් බැඳුම්කර ගනුදෙනුවේ සෘජු අලාභය පිළිබඳ ගණනය කර ඇතත් එහි සමස්ත අලාභය පිළිබඳ මෙතෙක් ගණනය කර නොමැත. කෙසේවෙතත් ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ 2007 වසරේ සිට සිදු කර ඇති බැඳුම්කර වංචාවලින් රුපියල් බිලියන 1000ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.