gossip lanka

චම්පිකගේ ජනපති සිහිනය බොඳවේ.. අගමැති රනිල්ගෙන් තදබල පණිවුඩයක්

එක්සත් ජාතික පක්ෂය සහ එම පෙරමුණ ප්‍රධාන නව සන්ධානයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකත්වය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමෙන් වැළකී සිටින්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික හෙළ උරුමයේ මහා ලේකම් පාඨලී චම්පික රණවක මහතා වෙත දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණ පොදු අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් තමාට පොරොන්දුවීමට නොහැකි බව පාඨලී චම්පික රණවක මහතාට දැනුම් දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා එමනිසා තමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඇඟ වෙන පරිදි රට හමුවේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස ද ඔහුට උපදෙස් දී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්,පාඨලී චම්පික රණවක මහතා වෙත කරනු ලැබ ඇති මේ දැනුම්දීමට පසුබිම් වී තිබෙන්නේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය ගෙන ඇති තීරණය සහ පාර්ලිමේන්තුවේද,පළාත් සභාවල සහ කොළඹ මහා නගර සභාව ඇතුළු එම දිස්ත්‍රික්කයේ ද මන්ත්‍රීවරුන් ගණනාවකින් ඔහුට එරෙහිව අඛණ්ඩව එල්ල වෙමින් පවතින විරෝධතා වේ.

විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් ඔහුට විරුද්ධව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටින්නේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකතත්වය ලබා ගැනීමේ සිය සැඟ වුණු දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ඊනියා පොදු සන්ධාන ගොඩනගා එක්සත් ජාතික පක්ෂයේ නම, අලියා ලකුණ සහ කොළ පාට විනාශ කිරීමට පාඨලී චම්පික රණවක මහතාට ඉඩ නොතබන බවය.

මේ අතර මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා සිය අදහස්,යෝජනා සහ අවශ්‍යතා නොතකා, එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළා වගේ අධිපතිවාදී ස්වරූපයකින් සිය තනි මතයට අනුව පමණක් ක්‍රියා කරන බව පෙන්වා දුන් කොළඹ මහා නගර සභාවේ එකසත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සිය කණ්ඩායම අවස්ථා ගණනාවකදී පැමිණිලි කළ බව ද පැවසූහ.

සුමුදු පෙරේරා
– lankanewsweek
gossip lanka