කැලෑ වැදි සිටින හිටපු කොටි ත්‍රස්තයන් වැඩ අරඹයි - සැකකරුවන් සොයා STF කැලේ පීරයි !

වවුනියාවේ ඕමන්ත කුංජිවේලිකුලම් ප‍්‍රදේශයට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකුව සොයා යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
ඕමන්ත පොලිස් බල ප‍්‍රදේශයේ කෙළවරේම පිහිටි නොදියුණු ගම්මානයක් වන කුංජිවේලිකුලම් ගම්මානයේ කැලෑවක පැල්පතක දරු පවුලක් ජීවත් වන අතර මීට දින දෙකකට පෙර එම පැල්පත වෙත එල්.ටී.ටී.ඊ. ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් දෙදෙනකු පැමිණ තිබේ.

මේ අවස්ථාවේදී එම පැල්පතේ කාන්තාව හා ඇගේ කුඩා දරුවා පමණක් සිටි අතර කාන්තාව රාත‍්‍රී ආහාරය සඳහා රොටී පුච්චමින් සිට ඇත. මේ පුද්ගලයින් දැක බියට පත් වූ කාන්තාව දරුවාද රැුගෙන ඇයගේ සැමියාගේ මහ ගෙදරට දිවගොස් තිබේ.

මේ අතරවාරයේ පැමිණි දෙදෙනා කාන්තාව විසින් පුච්චන ලද රොටී කොළයක ඔතාගෙන පැල්පතේ තිබූ භාජනයකට වතුරද පුරවා ගෙන ගොස් තිබේ. ඔවුන්ගේ අතේ ඒ අවස්ථාවේදී ආයුධ කිසිවක් තිබෙනු තමන් නොදුටු බවත් පිහියක් පමණක් ඔවුන් අත තිබෙනවා දුටු බවත් කාන්තාව පොලිසියට පවසා ඇත.

වවුනියාවේ ආරක්ෂක අංශ සැකකරන්නේ පසුගිය ජනවාරී පළමු වැනිදා වවුනියාවේ ඕමන්තට නුදුරින් පිහිටි පුලියන්කුලම පුදූර් ප‍්‍රදේශයට පැමිණ බෝම්බ මල්ලක් හා පිස්තෝලයක් ඇතුළු යුද උපකරණ මල්ලක් දමා ගිය සැකකරු හා ඔහු මෙහෙයවන ලද පුද්ගලයා මෙසේ ආහාර සොයාගෙන පැමිණෙන්නට ඇති බවයි.

ආනන්ද රාජා හා ශංකර් නැමති ඒ දෙදෙනාගේ ඡුායාරූප පෙන්වා රොටී රැගෙන යෑම සඳහා පැල්පතට පැමිණියේ ඔවුන්දැයි ආරක්ෂක අංශ කාන්තාවගෙන් ප‍්‍රශ්න කොට තිබේ. ඒ අවස්ථාවේදී කාන්තාව පවසා ඇත්තේ අඳුරු වැටීගෙන ආ අවස්ථාවේ ඔවුන් පැමිණීමත්, ඔවුන් දැකීමෙන් තමන් බියට පත් වූ නිසාත් ඡායාරූපවල සිටින්නේ ඔවුන්ම යැයි ස්ථිර වශයෙන්ම කිව නොහැකි බවයි.

ආරක්ෂක අංශ සැකකරන්නේ බෝම්බ මල්ල රැුගෙන ඒමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාම කැලේ අතරමංව ආහාර සොයමින් මේ ගම්මානයට පැමිණෙන්නට ඇති බවයි.

මෙසේ පැමිණි පුද්ගලයන් දෙදෙනා සෙවීමේ සෝදිසි මෙහෙයුම් තව දුරටත් වවුනියාවේ ඕමන්ත පුලියන්කුලම යන පළාත්වල කැලෑවේ සිදු වෙමින් පවතී.