ප්‍රමාද වී හෝ සියල්ලටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් ගේනවා - කිරිඇල්ල

ප්‍රමාදවී හෝ සියලු ජනතාව පිළිගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරා යොමුවන බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමයන් හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා දිවංගත ජනපති ජේ.ආර්.ප්‍රේමදාස මහතාගේ සමයන්හිදී සිදුකළ ආණ්ඩුකම ව්‍යවස්ථා සම්පාදනයේදී දෙමළ ජනතාවගේ සහභාගීත්වයක් නොතිබුණත් මෙරට ඉතිහාසයේ පළමුවරට මේ අවස්ථාවේදී දෙමළ ජනතාව වෙනුවෙන් වසර දෙකක කාලයක් තිස්සේ වගන්තියෙන් වගන්තිය ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කළ බව මහනුවර දී ඊයේ (14) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා සදහන් කළේය.

වර්ෂ 1956දී දෙමළ ජනතාව ඉල්ලා සිටි භාෂා අයිතිය ඔවුන්ට ලබා දුන්නේ නම් තිස් අවුරුදු යුද්ධයක් කරා රට යොමු නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

"මහින්ද රාජපක්ෂ මහතාට යම් අයුරකින් අග්‍රාමාත්‍යධූරය හෙබවීමට අවස්ථාව දුන්නේ නම් එය ආදර්ශයකට ගනිමින් ඉදිරියට නව ජනාධිපතිවරයෙකු පත්වන සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තක් නොමැති අයෙකු අගමැති බවට පත් වේවි. මහින්ද රාජපක්ෂ දේශපාලන වශයෙන් මගේ මිත්‍රයෙක්. නමුත් ඔහු පරාජයට පත් කළේ ඔහු සමග ඇති වෛරයකට නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සදහායි.

අතීතයේ මෙරට අවස්ථා දෙකකදී නව ව්‍යවස්ථාවන් සම්පාදනය කළා. නමුත් ඒ කිසිම අවස්ථාවකදී ද්‍රවිඩ පක්ෂ ඒ සදහා සහභාගීවුණේ නැහැ. නිදහස ලබා මේ රට වසර හැටකට අධික කාලයක් පසු කර ඇතත් මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට ද්‍රවිඩ පක්ෂ සම්බන්ධ නොවීම විශාල ගැටලුවක්.

නමුත් අද නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී ඒ වෙනුවෙන් ද්‍රවිඩ පක්ෂ සිය සක්‍රීය දායකත්වය ලබාදී තිබෙනවා. මේක ඓතිහාසික අවස්ථාවක්. මෙහිදී කිසිදු අයුරකින් අපි ෆෙඩරල් ක්‍රමයක් කරා යොමුවීම හෝ උතුරු නැගෙනහිර බෙදීමක් සිදුකරන්නේ නැහැ. අපි කරන්නේ දැන් තිබෙන පළාත් සභා ශක්තිමත් කරන්නේ කෙසේද යන්න කියන කාරණාව සලකා බැලීමයි.

සමහර විෂයන් පළාත් සභාවට මෙන්ම මධ්‍යම රජයට ද අයත්. මේ නිසා සංවර්ධන කාර්යයේදී කඹ ඇදිල්ලක් සිදුවෙනවා. ද්‍රවිඩ ජාතික සන්ධානය පවා පිළිගන්නේ ඒකීය යන සංකල්පයයි. බුදු දහම ආරක්ෂා කළ යුතුය, එයට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය යන කාරණය ඔවුන් ද පිළිගන්නවා."

ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නව ව්‍යවස්ථාවක් නොව පවතින ව්‍යවස්ථාවේ වගන්තිවලට නව යෝජනාවන් වන අතර එහිදී පවතින ව්‍යවස්ථාව වගන්තියෙන් වගන්තිය සුදුසු පරිදි සංශෝධනය කළ යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර
gossip lanka