මහින්ද දේශප්‍රිය ආණ්ඩුව සමග 'ඩීල්' එකක ! : කුසල් චෝදනා කරයි

ළාත් සභා මැතිවරණ නොපවත්වා සිටීමට ඔබ හා මැතිවරණ කොමිසම වෙනත් හේතු දක්වන්නේ ආණ්ඩු පක්ෂය සමග ඔබලා කිසියම් ගනුදෙනුවක ඉන්නා නිසා යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට චෝදනා කරයි.

''විසුරුවා හැරණු පළාත් සභා මැතිවරණ නීති විරෝධී ලෙස කල් තැබීම'' යන ශීර්ෂයෙන් යුතුව ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඊ මේල් පණිවිඩයක් යොමුකරමින් කුසල් පෙරේරා මහතා එම කාරණය අවධාරණය කර තිබේ.


එම ඊමේල් ලිපිය පහත පළවේ.

ජනතා පරමාධිපත්‍යය

පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි 17) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පළාත් සභා මැතිවරණ ප්‍රමාදය පිළිබඳව ඔබව හමුවූ බවත් එහිදී පාර්ලිමේන්තුවෙහිදී එම ගැටළුව දේශපාලන පක්ෂ විසින් විසඳාගත යුතු බව ඔබ ඔවුන්ට දැන්වූ බවත් මාධ්‍යයන්හි වාර්තා විය.

ඔවුන් අධිකරණයට යන්නේ නම් එයද ගැටළුව විසඳා ගැනීමට වැදගත් යැයිද එසේ වුවහොත් අධිකරණ තීන්දුව අනුව ක්‍රියා කළ හැකි යැයිද ඔබ පැවසූ බවද වාර්තාකර තිබිණ.

ඒ අතර වෙනත් වාර්තාවකට අනුව ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් පරණ පළාත් සභා මැතිවරණ නීතිය යටතේ මෙම මැතිවරණ පවත්වන මෙන් ඔබෙන් ඉල්ලීමක් කර ඇත.

මේ රටේ ජනතාවගේ බදු මුදලින් ඔබත් ඔබ කොමිසමේ අනෙක් සාමාජිකයින් දෙදෙනාත් මුළු කොමිසමත් එහි සියලු සේවකයිනුත් නඩත්තු කරනු ලබන්නෙ කවර හේතුවක් නිසාවෙන් හෝ අන්සතු කළ නොහැකි සහ කිසිදු කොන්දේසියක් යටතේ අත්හිටුවිය නොහැකි ජනතා පරමාධිපත්‍යය අර්ථගැන්වෙන්නා වූ පරම අයිතීන් තුනෙන් එක් අයිතියක් වන “සර්වජන ඡන්දය” වෙනුවෙනි.

දැනුවත්ව නොමග හැරීමක් කරලා !

තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වූයේ යැයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ සාමාජිකයෙකුද ඉන්නා ජාතික මැතිවරණ කොමිසම අවුරුද්දකුත් මාස 03 ක පමණ කාලයක් පළාත් සභා 03 ක ජනතාවගේ එම මූලික අයිතිය උල්ලංඝණය කිරීම කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී දැයි මම අසමි.

එය ඉදිරියට තව කෙතරම් කාලයක උල්ලංඝණය කිරීමක් වේදැයි ඔබට කිව හැකිද? මේ අතර, තවත් පළාත් සභා 03 ක් ඉකුත් ඔක්තෝම්බරය අවසානයේ සිට විසුරුවා හැරුණි. දැන් පළාත් සභා බල ප්‍රදේශ 09 න් 06 ක ජනතාවගේ පරමාධිපත්‍ය, මැතිවරණ කොමිසමේ අක්‍රීයත්වයද හේතුවෙන් අහෝසිවී ඇත.

එවැනි තත්ත්වයක ඔබ විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී හමුවේදී දැක්වූ අදහස් සහමුලින් වැරදි යැයිද සියල්ලන් දැනුවත්ව නොමග හැරීමක් යැයිද කිව යුතුය.

කිසියම් නීතියක් සංශෝධනය කිරීමේදී හෝ එය වෙනත් නීතියකින් අක්‍රීය කිරීමකදී හෝ ආදේශ කිරීමකදී පවතිනා නීතිය අහෝසි වන්නේ අලුත් නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළ පමණින්ම නොවන බැව් ඔබ හොඳින් දන්නා කරුණක් යැයි මම විශ්වාස කරමි.

එසේ වන්නේ අලුත් නීතිය බලාත්මක වූ මොහොතේ සිට පමණකි. එක් නීතියක් අහෝසිකර, ඉන් පසුව වෙනත් නීතියක් ඒ වෙනුවෙන් සම්මතකර ක්‍රියාවට නැගීමේ සම්ප්‍රදායක් ඇත්තේ නැත. එබැවින් මැතිවරණ නීතියක් නොමැති ගන්ධබ්භ යුගයක් තිබිය නොහැක.

තවත් අනිවාර්ය පියවර කිහිපයක් :

ඔබගේ කරුණු දැක්වීමට අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සම්මත කර සහතික කෙරුණු 2017 සැප්තැම්බර 22 වන දින සිට එතෙක් ක්‍රියාත්මකව පැවති 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත අහෝසි වී ඇත. එය එසේ නොවන බැව් ඔබ හා මැතිවරණ කොමිසම නොදන්නේ යැයි මම විශ්වාස නොකරමි.

නව පනත පාර්ලිමේන්තුවෙහි සම්මත කළ පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් අනිවාර්ය පියවර කිහිපයක්ම පනත විසින්ම පනවා ඇත. ඒ අනුව ප්‍රථම කාර්ය වූයේ පනත සම්මත කළ සැප්තැම්බර 22 වන දින සිට සති 02 ක් ඇතුළත ජනාධිපති විසින් මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ කොමිසමක් පත් කිරීමය.

එම කොමිසම නව පනතට අනුව මාස 04 ක් ඇතුළත ඔවුන්ගේ සම්පූර්ණ වාර්තාව අදාල ඇමතිවරයාට බාර දිය යුතුය. එනම් 2018 පෙබරවාරි පළමු සතිය වන විට එකී වාර්තාව ඇමතිවරයා අත පත්විය යුතුව තිබිණ.

නැවතත් පනතට අනුව, ඇමතිවරයා එම වාර්තාව දෙසතියක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබිණ. එසේ හෙයින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබුණේ 2018 මාර්තු මාසයට පෙර ය.

පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡන්දයකින් පමණයි !

එම සීමා නිර්ණ වාර්තාව සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡන්දයකින් පමණි. එසේ නොවුනහොත් එම වාර්තාව අලුතින් නිරීක්ෂණයකර ජනාධිපති වෙත වාර්තාවක් බාර දීම සඳහා කතානායක විසින් අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ යුතුය.

අගමැතිගේ ප්‍රධානත්වයෙන් එකී නිරීක්ෂණ කමිටුව කතානායක විසින් පත් කරනු ලැබූයේ 2018 අගෝස්තු මස අග දිනෙකය. එම කමිටුව නව පනත අනුව මාස 02 ක් ඇතුළත ඔවුන්ගේ නිරීක්ෂණ සහිත වාර්තාව ජනාධිපති වෙත බාර දිය යුතු ය. එවිට එම නිර්දේශ සමගින් ජනාධිපති විසින් නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයකින් 2017 අංක 17 දරණ පළාත් සභා (සංශෝධන) පනත බලාත්මක කෙරෙන්නේය. එම අවසන් කාර්යන් 2018 ඔක්තෝම්බර මස අවසානයට පෙර සම්පූරණ විය යුතුව තිබිණ. එහෙත් එය එසේ වී නැත.

එබැවින් 2017 අංක 17 දරණ පළාත් සභා (සංශෝධන) පනත තවමත් නිශ්ක්‍රීය පනතකි. එනිසා ඒ පනත යටතේ මැතිවරණ පැවැත්විය නොහැකි බැව් කවුරුත් දන්නා සත්‍යයකි. ඔබ නොකියන කතාව වන්නේ නව සංශෝධන පනත නිශ්ක්‍රීයව පවතින තාක් කල් 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත ක්‍රියාත්මකව පවතින බව ය. එබැවින් එම පනත යටතේ පළාත් සභා මැතිවරණ වහා පැවැත්වීමේ නෛතික බලය මැතිවරණ කොමිසම සතුව ඇත.

කිසිවකුගේ අලුත් අවසරයක් අවශ්‍ය නැහැ :

එනිසා පළාත් සභා මැතතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමට කිසිවකුගේ අලුත් අවසරයක් අවශ්‍යද නැත. ඒ ගැන කිසිවක් කතා නොකර කවදා හෝ 2017 අංක 17 දරණ පළාත් සභා (සංශෝධන) පනත ක්‍රියාත්මක කරන තෙක් ජනතාවගේ මූලික අයිතියක්වන ඡන්දය භාවිත කිරීම අත්හිටුවා තබන්නට මැතිවරණ කොමිසමේ සභිකයින්ට නීතිමය හා සදාචාරාත්මක අයිතියක් නැත.

පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටීමට ඔබ හා මැතිවරණ කොමිසම වෙනත් හේතු දක්වන්නේ ආණ්ඩු පක්ෂය සමග ඔබලා කිසියම් ගනුදෙනුවක ඉන්නා නිසා යැයි මම චෝදනා කරමි.

එවැනි ගනුදෙනුවක් නැතැයි කොමිසමට ඔප්පු කළ හැක්කේ තවමත් වලංගු හා බලාත්මකව පවතින 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත යටතේ වහා මැතිවරණ පැවැත්වීමෙනි. ඒ සඳහා දැනට විසුරුවා ඇති පලාත් සභා 06 සඳහා වහා මැතිවරණ පවත්වන මෙන් ඉතා කාරුණිකව මෙයින් ඉල්ලමි.

මාගේ විද්‍යුත් තැපෑලට පිළිතුරු යොමු කරන්නේ නම් මැනවි.''

gossip lanka