මැතිවරණය පැවැත්වුයේ නැත්තම් මහින්ද ඉල්ලා අස්වෙන්න සූදානම්

නොවැම්බර් මස 9 ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නොමැති නම් තමා තනතුරෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මේ වන විට රාජගිරියේ මැතිවරණ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ජනාධිපතිවරණය කලින් පැවැත් වීම ගැටළුවක් නොවන බවත්, නොවැම්බර් මස 9 වන දින සිට දෙසැම්බර් මස 9 වන දක්වා වු කාලය තුළ එනම් නොවැම්බර් 10 ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වීමට නොහැකි වුවහොත් එයට විරෝධය පළ කිරීමක් ලෙස තමා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් වෙන බව මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කොමිසම් සභාවේ සිටින නමුත් සභාපතිධූරය අතහරින බවද ඔහු සඳහන් කරයි.

තමාද රටේ පුරවැසියෙක් වන බැවින් එවැනි ප්‍රකාශයක් සිදු කරන බව ද පැවසු දේශප්‍රිය මහතා, තමාගේ හෘද වස්තුවක් මෙම ඡන්දය කල්දැමීම තුළින් වේදනාවට පත්වන බව කියා සිටියේය.

ඡන්දය සම්බන්ධයෙන් සාකච්ඡාවලට තමා දිගින් දිගටම සම්බන්ධ වු බවත්, සෑම දේශපාලන පක්ෂ නායකයෙක්ම මෙය පැවැත්විය යුතු බව සඳහන් කලත් සමහරු තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන බව කියා සිටින බව ද පැවසීය.

කාගේවත් “ඇජෙන්ඩාවලට ඡන්දෙ තියන්න මහින්ද දේශප්‍රිය මේ පුටුවේ වාඩි නොවන “ බව ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.