චන්ද්‍රිකාගේ නව පක්ෂයට මහින්දගෙන් සුබ පැතුම් !

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ගැටුමක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේ ප්‍රශ්නය දැනට තාවකාලිව විසඳා ඇතත් එම ප්‍රශ්නය අවුල් කළ බවයි ඒ මහතා පැවසුවේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) මහවැලි කේන්ද්‍රයේ පැවති පොත් එළිදැක්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

නව පුළුල් සන්ධානය බිහිකිරීමේ කටයුතු පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ දැනට එම සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කරමින් සිටින බවයි. එහි වගකීම් භාරදී කමිටුවක් ද පත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

එසේම දැනටත් තමන් ක්‍රියාත්මක වන්නේ සන්ධානයක් වශයෙන් බවත් ඒකාබද්ධ විපක්ෂය යනු පුළුල් සන්ධානයක් බවත් අලුතින් ම ඊට එකතු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නව පක්ෂයක් ගොඩනැඟීමේ උත්සාහයක නිරත වන බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා පැවසුවේ තමන් ඊට සුබ පතන බවයි.