ජනාධිපතිගේ බිලියන 1000 කතාවත් බොරුවක් !

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවලදී 2007 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 1000ක පමණ මුදලක් රටට අහිමිවී ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසිය යුත්තේ එතුමාගෙන්ම බවත් එවන් මුදල් ප්‍රමාණයක් පිළිබඳව ඒ රැස්වීමේදී සඳහන් නොකෙරුණු බවත් ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
"ඒක මමත් දැක්කා. එහෙම දෙයක් ප්‍රකාශ වුණේ නෑ. එතෙන්දි කිසිම වෙලාවක කිසිම සඳහනක් වුණේ නෑ කිසිම මහබැංකු නිලධාරියෙක්ගෙන් - එහෙම එකක් කියන්න බෑ, මොකද වෝහාරික විගණනය කරන හේතුවම එහෙම එකක් වෙලා තියෙනවද ? වෙලා තියෙනවා නම් මොකද්ද පාඩුව කියලා හොයාගන්න එක. ඒක දන්නෙ නැතුව මුලින් ගාණක් කියන එක .. කවුරුවත් කිව්වෙත් නෑ. මට ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. මම දැක්කා මාධ්‍යවල එහෙම ප්‍රකාශ වෙලා තියෙනවා. නමුත් මම ඒකට සහභාගී වුණු නිසා මට ස්ථිරවම කියන්න පුළුවන්, මෙතරම් මුදලක් කියලා සංඛ්‍යාවක් අපේ මහබැංකුව විසින් මෙතෙක් කියලත් නෑ. හොයාගෙනත් නෑ." යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ කතාවේ මාධ්‍යයට නිකුත් කෙරුණු නිවේදනය ගැන සඳහන් කරමින් ඒ මහතා පැවසුවේ ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදන නිකුත් කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසිය යුතු බවය.

කෙසේවෙතත් 2018 දෙසැම්බර් 16 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඒ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අමතා කරන ලද ඓතිහාසික විශේෂ ප්‍රකාශයක වීඩියෝවක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත මුදා හැර තිබිණි. ජනාධිපතිවරයා බිලියන 1000ක කතාව කියන අයුරු එහි ඉතාම පැහැදිලිව දැක්වේ. නමුත් නන්දලාල් වීරසිංහ මහතා පවසන ආකාරයට ජනාධිපතිවරයා එවන් සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කර නැත.

ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශයේදී පැහැදිලිව සඳහන් කළේ තමන්ට ආර්ථික විශේෂඥයින්ගෙන් ලැබුණු තොරතුරු මත එම සංඛ්‍යාව පවසන බවයි. එහෙයින් එක්කෝ එතුමාගේ නීති උපදේශකයින් මෙන්ම ආර්ථික උපදේශකයින් ද එතුමාට ලණුවක් කවා තිබෙන අතර නැතිනම් ජනාධිපති මාධ්‍ය ඒකකය රටට ලණුවක් දී තිබෙනවා විය යුතුය.