අගමැතිගේ 'තනතුරු කමිටුව' ඇතුළෙන්ම බාල්දුවේ !

සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස නම් කරන පුද්ගලයින් එම තනතුරුවලට පත් කිරීමට පෙර ඔවුන්ගේ සුදුසුකම් පරික්ෂා කිරීම සඳහා 'ත්‍රී පුද්ගල ඇමති කමිටුවට' ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව රජයේ අමාත්‍යවරුන්ට ලබාදී තිබු නියෝගය මේවනවිට පුස්සක් වී ඇතැයි 'අරලිය ගහ මන්දිර' ආරංචිමාර්ග පවසයි.
අලුතින් පත්කරන ආයතන ප්‍රධානීන්ගේ සුදුසුකම් පරික්ෂා කිරීම සඳහා අගමැතිවරයා විසින් කබීර් හෂීම්, සාගල රත්නායක හා ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ සමන්විත කමිටුවක් පත්කර ඇති අතර කිසිඳු අමාත්‍යවරයකුගේ ඥාතියකුට රාජ්‍ය ආයතනවල සභාපතිකම් ලබා දීමට ඉඩ නොදෙන්නැයි එම කමිටුවට තරයේ අවවාද කර තිබිණ.

එම කමිටුව ඊයේ (03) රැස්වුණ ද කිසිඳු සාකච්ජාවකින් තොරව විසිර ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ගෙන් කල විමසීමේදී කියා සිටියේ බොහෝ ඇමතිවරුන් දැනටමත් මෙම කමිටුව මායිම් නොකර තම තමන්ගේ හිතවතුන් රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා පත්කර ගෙන ඇති බවයි.

''කමිටුවට පත්කරපු කෙනෙක්ම අගමැතිතුමාගේ නිර්දේශ කඩ කරලා, එයාගේ සහෝදරයා දැනටමත් රාජ්‍ය ආයතනයක සභාපති විදියට පත්කර ගෙන. ඉතින් අනිත් ඇමතිවරු මොකටද ඒවගේ කමිටුවක නිර්දේශ ගන්නේ... ඒ නිසා අගමැතිතුමාගේ මේ කමිටුව කිසිම ඇමති කෙනෙක් ගණන් ගන්නේ නැහැ.  ඊයෙත් ඒ කමිටුව රැස්වෙලා නිකම්ම විසිරිලා ගිහින්  ...'' යයි එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය ආයතන රැසක ලොකු පුටු හිස්: වැඩ අවුල්

කෙසේවුවද කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු රාජ්‍ය ආයතන ගණනාවක හිස් වූ ප්‍රධාන තනතුරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල තවමත් පුරවා නොමැති නිසා එම ආයතනවල කටයුතු අවුල් වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක කටයුතු මේ නිසා අඩාල වී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුව විසුරුවා හැර මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ පසු පිහිටුවාගත් දින 51 ආණ්ඩු සමයේදී බොහෝ ආයතනවල ඉහළ තනතුරු වෙනස් වූ අතර ආණ්ඩුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු හිස් වූ තනතුරු රැසක් තවම පුරප්පාඩුව පවතී.

අලුත් කැබිනට් සංශෝධනයේදී බොහෝ ආයතනවල විෂය භාර අමාත්‍යවරුන් වෙනස් වූ අතර අදාළ විෂයයන් ගැසට් කිරීම පමා වීමද මෙම තත්ත්වයට බලපා තිබේ.