නාමල්, විමල් හා ශෂී මඟහරින බව CID ය අධිකරණයට කියයි !

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ වැඩ තහනමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (21) නියෝග කළේය.
නාලක සිල්වා මහතාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් වෛද්‍ය නිර්දේශ මත පදනම්ව ඔහුව කොළඹ ජාතික රෝහලට යොමු කර ප්‍රතිකාර ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ඉන්දීය ජාතිකයා සම්බන්ධ විමර්ශණ තවදුරටත් ක්‍රියාත්මක බවද රහස් පොළිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අදාල ඉන්දීය ජාතිකයා විවිධ දේශපාලනඥයින්ගේ නිවස්වලට ගොස් ඇතැයි පැවැසෙන කරුණු සම්බන්ධයෙන් පුලුල් විමර්ශණ පැවැත්වෙන බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ඒ අනුව නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ශෂී වීරවංශ යන මහත්ම මහත්මීන්ට ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔවුන් ඒ සඳහා මේ දක්වා පැමිණ නොමැති බවත් රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.