මුලතිව්හි විහාරස්ථානයක් වසා දමන්නැයි ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් තර්ජන

මුලතිව් සේමමඩු ප්‍රදේශයේ පිහිටි රත්නමණ්ඩප විහාරස්ථානයේ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාට ඊයේ (29) දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක් තර්ජනය කොට විහාරස්ථානයෙන් පිටව යන ලෙස බැණ වැදී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලඥයින් කීප දෙනෙකු මීට දින කීපයකට ඉහතදී පැමිණ පවසා ඇත්තේ මේ ස්ථානය සිංහල බෞද්ධයන්ට අයත් නොවන බවත් එය තච්චන්කුලම් යනුවෙන් හැදින්වෙන දෙමළ ගම්මානයක් බවයි.

මේ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා තුන් නමක් වැඩ වාසය කරණ අතර භික්ෂුන් වහන්සේලා හා දායකයින් පිරිසක් කරුණු පැහැදිලි කරමින් පවසා ඇත්තේ පුරාණ ගල් කණු සහිතව ඇති මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවයි.

දැනට මහනුවර වැඩ වාසය කරණ දන්ත ධාතූන් වහන්සේ පවා මේ ස්ථානයේ වැඩ හිදුවා ඇති බවත් 1955 දී පවා මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් පැවති බවත් දෙමළ ජාතික සන්ධානයේ පිරිසට පෙන්වා දී තිබේ.

මේ අවස්ථාවේදී ඒ පිරිස භික්ෂූන් වහන්සේලාට හා දායකයින්ට පවසා ඇත්තේ මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගෙන යම් ස්ථිර නිගමනයකට එළඹීම සුදුසු බවයි.

එම පිරිස එසේ ප්‍රකාශ කොට පිටව ගියත් හදිසියේම 29 දා මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු තරුණයින් අට දෙනෙකු පමණ පැමිණ එම ස්ථානය සිංහල බෞද්ධයන්ට අයත් නොවන නිසා එම ස්ථානයෙන් පිටව යන ලෙස තර්ජනය කොට ඇත.

මේ අවස්ථාවේදී විහාරස්ථානයේ වැඩ වාසය කොට ඇත්තේ එක් භික්ෂූන් වහන්සේ නමක් පමණි.

(දිනසේන රතුගමගේ)