මාරුවීම් ලැබූ පොලිසියේ 200ක් නැවතත් උතුරම ඉල්ලති !

උතුරු ප්‍රදේශයේ පවතින ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර පවතින සංහිඳියාවේ සුබ ලකුණක් බවට පෙන්නුම් කරමින් මෙතෙක් ඉතිහාසයේ කිසි කලෙක සිදු නොවූ සුවිශේෂී සිද්ධියක් බවට පත්කරමින් උතුරේ සේවය කරන පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම්වලින් දෙසීයකට වැඩි පිරිසක් තව දුරටත් උතුරු ප්‍රදේශයේම සේවය කිරීමට අවස්ථාව ඉල්ලා ස්ව කැමැත්තෙන්ම ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙසට ලිපි ඉදිරිපත් කර තිබේ.
වාර්තා වූ මේ තොරතුර සම්බන්ධයෙන් උතුරු ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන් විමසූ විට ඒ මහතා එම තොරතුර තහවුරු කරමින් පොලිසියේ විශාල පිරිසක් උතුරේ සිට දකුණට ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව කියා සිටියේය.

ඒ අතර මේ වසරේ උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවලට ලබා දී ඇති වාර්ෂික ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙසට කිසිදු අභියාචනයක් ඉදිරිපත් වී නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරු ප්‍රදේශයට ලැබුණ ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙසට අභියාචනා ඉදිරිපත් නොවූ සහ උතුරේ සිට දකුණට ලැබුණ ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙසට ස්වයං ලිපි ඉදිරිපත් වූ ප්‍රථම වසර මෙය වෙයි.

මෙවැනි තත්ත්වයක් රට තුළ ඇති වීමට ප්‍රධාන හේතුව වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ දැනට උතුරේ පවතින ජාතික ආරක්ෂාව තහවුරු වී තිබීම සහ උතුරේ ජනතාව සහ ආරක්ෂක අංශ අතර පවතින විශ්වාසය සංහිඳියාව මත පදනම් වූ සේවය කරන පිරිස සහ සේවය ලබන පිරිස අතර ඇති වී තිබෙන පැහැදීම බවයි.

පසුගිය කාලවලදී පොලිස් මූලස්ථාන වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා දීමත් සමඟ උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවලින් දකුණට ලැබෙන ස්ථාන මාරුවීම් ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවෙයි. මේ ආකාරයෙන් ස්ථාන මාරුවීම් ප්‍රතික්ෂේප කරන පිරිස තව දුරටත් වැඩි විය හැකි බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

දිනමිණ