කිරි ඇත්තේ තව සති දෙකකටයි : රටකිරි කටු පොල්තෙල්වලින් හදපු සුදු පාට කුඩක් ?

කිරිපිටි මිල වැඩිකරන තෙක් කිරිපිටි ආනයනකරුවන් සිය නැව් තොග වරායෙන් නිදහස් කර නොගන්නා බව පැවසීම හේතුවෙන් පිටි කිරි බෙදාහරින සමාගම්වලට කිරිපිටි පැකට් සැපයිය හැක්කේ තවත් සති දෙකකට ආසන්න කාලයකට බව වාර්තා වේ.
කිරිපිටි තොග නිදහස් කරගන්නා ලෙස පසුගිය අඟහරුවාදා පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කිරිපිටි ආනයනකරුවන්ගෙන් ඉල්ලා ඇතත් ඔවුන් එයට අවනත වී නැතැයි පැවසේ.

වැට් බදු ද ඇතුළත්ව කිරිපිටි කිලෝවකට රජය විසින් අයකරන බදු මුදල රුපියල් එකසිය හැත්තෑවක් පමණ වන බව කියන කිරිපිටි ආනයනකරුවන්ගේ මේවන විට ආනයනික කිරිපිටි කිලෝවකින් රුපියල් එකසිය දහයක පමණ පාඩුවක් සිදුවන බවද කියා සිටී.

ඩොලරයේ ඉහළ යාම හා ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව මේ පාඩුව සිදුවන බවද ඔවුහු පවසති. පාඩුව පියවා ගැනීමට නම් මිල වැඩිකිරීමක් හෝ බදු අඩුකිරීමක් අවශ්‍ය බවද කිරිපිටි ආනයනකරුවන් පවසයි.

මාස හතරක පමණ සිට සිදුවන පාඩුව හේතුවෙන් තම ආයතනය මූල්‍ය අර්බුදයන්ට මැදිවන බව ඔවුහු කියා සිටිති.

කිරිපිටි බදු අඩු නොවී මිල වැඩිවෙන්නේ ඇයි ?


කිරිපිටි ආනයනය වෙනුවෙන් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන හාරසිය පනහක් පමණ වැයවන බව පැවසෙන අතර රටකිරිවලට බදු පනවා ඇත්තේ දේශීය කිරිගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හා රට කිරිවලින් ස්වයංපෝෂිත කර ගැනීමේ පරමාර්ථයෙන් බවට රජයන් පැවසුවද සැබෑ අරමුණ එය නොවන බව ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.

ඔවුන් පෙන්වාදෙන්නේ මිනිසුන් වඩාත් වැඩියෙන් පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවට බදු ගැසීම තුන්වැනි ලෝකයේ රටවල ආණ්ඩුකරණයේ න්‍යායක් වන අතර රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීම මෙහි පරමාර්ථයය බවයි.

මෙරට කිරිපිටි සමස්ත අවශ්‍යතාවයෙන් සියයට අසූපහක් පිටරටින් ආනයනය කරන අතර ඒ සඳහා විදේශීය ආයතන දෙකක් හා දේශීය ආයතන අටක් තිබේ. මෙරට මාසික කිරිපිටි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් අටදහසක් බවද කියැවේ.

"ඔය පිටිකිරි කියන්නේ කිරිද කියලා සොයා බලන්න ඕනෑ"

ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳව ද බරපතළ චෝදනා එල්ලවෙමින් තිබේ.

පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා කියා සිටින්නේ “අපි ගාව තියෙනවා කිරි ලංකාවේ. අපේ ගැසට් එකේ තියෙනවා ලංකාවට ගෙනෙන කිරි මීහරකකුගේ හෝ එළහරකුගේ පමණක් විය යුතුයි කියලා. ඒක තමයි ලංකා ආණ්ඩුවේ නීතිය. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මේ ගේන්නේ කිරි ද කියලා. අපි දන්නේ නෑ මොන කුඩු ද ගේන්නේ කියලා. මිලියන පහක් හරක් ඉන්න මේ චූටි රටේ කිරි නෑ. ඉන්දියාවේ හරක් ඉන්නවා මිලියන තුන්සීයක්.

අන්තර්ජාලයේ තියෙනවා ලැක්ටෝස් අමෙරිකාවෙන් ගේනවා, ෆාම් ඔයිල් ටික මැලේසියාවෙන් ගේනවා. ඒ දෙක කලවම් කරලා තමා මේ කිරිපිටි හදන්නේ. උඹලා තුන්වැනි ලෝකේ රටවල්. උඹලාට කිරි බටර් ගන්න සල්ලි නෑ. ඒ නිසා තමා උඹලාට මේක දෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා. ඒක අන්තර්ජාලයේ තියෙනවා.

මං කියනවා කිරි නම් අර ආණ්ඩුවේ ගැසට් එකේ තියෙන විදිහට කිරි කියලා ඔප්පු කරන්න කියලා. ලංකා ආණ්ඩුවේ ඇනුවල් රිපෝට් එකේ තියෙනවා ලංකාවේ ලක්ෂ දහතුනක් හරක් ඉන්නවා කියලා. හැබැයි ආණ්ඩුව කියනවා කිරි ගන්නේ ලක්ෂ දෙකහමාරක විතරයි කියලා. මොකද ඊට වඩා අරගෙන විකුණන්න බෑ. කිරි නොවන කටු පොල්තෙල්වලින් හදපු සුදු පාට කුඩක් දානවා කිරි කියලා ගහලා. පැකට් එකේ හරකෙක් පෙන්නන්නෙත් නෑ. අපේ රටේ දරුවන්ට ආදරෙයි අපි. පාසල් ළමයින්ගෙන් සීයට පහළොවකට දියවැඩියාව. අපි පොඩි කාලේ එහෙම තිබ්බෙ නෑ. ඔය රසායන ද්‍රව්‍ය දාල දරුවන්ට කිරි පෙව්වාම ඕක තමා වෙන්නේ.” යනුවෙන් කියා සිටී.