'සිවුවැනි ආණ්ඩුව විනාශ කිරීමේ මෙහෙයුමක්' -ශ්‍රීලනිප මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ඉහළින් කතා කරන වත්මන් අගමැතිවරයා රටේ සිවුවැනි බලවේගය වන ජනමාධ්‍ය විනාශ කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවැසීය.
පසුගියදා කැලණි විශ්වවිද්‍යාලයේ මාධ්‍ය හා සන්නිවේදන අංශය මඟින් සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහ ලේකම්වරයා මෙසේද පැවැසීය.

''ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ඉහළින් කතා කරන වත්මන් අගමැතිවරයා රටේ සිවුවැනි බලවේගය වන ජනමාධ්‍ය වර්ග කිරීම දැනටම පටන් අරගෙන. කළු මාධ්‍ය, සුදු මාධ්‍ය කියමින් මාධ්‍ය වර්ග කිරීම සිදු නොවිය යුතුයි.

වත්මන් ජනාධිපතිවරයාව කෙතරම් කාටූන්වලට, විවේචනවලට යොදා ගත්තත් එතුමා කිසිම විටක මාධ්‍ය මර්දනයට අතපොවා නෑ.

ජනමාධ්‍ය පසුබිමකින් පැමිණි වත්මන් අගමැතිවරයා සිදුකරන මේ ප්‍රකාශ රටේ සිවුවැනි බලවේගය හෑල්ලුවට ලක් කරන ඒවායි.

එතුමාගේ පාලන සමය වූ 80 දශකයේ මාධ්‍යවේදීන් 26ක් පමණ ඝාතනය වුණා. අතුරුදන් වුණා. සියලුම ජාතීන් නියෝජනය වෙමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, අගනුවර ආයතනවල සේවය කළ මාධ්‍යවේදීන් ඝාතනය වුණා. ඒවා අපිට මතකයි.

මේ අන්දමින් නැවත මාධ්‍යට ඇඟිල්ල දික් කිරීමට පටන් ගැනීම නිසා නැවතත් එවැනි අඳුරු යුගයක් එයිද කියා සැකයක් ඇති වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන සක්‍රිය ආයතනයක් වන ජනමාධ්‍යයට මෙලෙස තර්ජනය කිරීමෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන පක්ෂයේ ඉදිරි ගමන් මඟ මනාව පැහැදිලි වෙනවා.''