gossip lanka

140 දීමනාව නොදුන්නොත් පලනි, මනෝ, රාධා ඇමැතිකම් අත්හරින්න සූදානම් !

වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට ඇතුළත්ව තිබූ රුපියල් 140 දීමනාව නැවත වැටුපට එක් නොකළොත් හෙට (01 වැනිදා) සිට දමිළ ප‍්‍රගතිශීලි සන්ධානයේ ඇමැතිවරුන් වන මනෝ ගනේෂන්, වී. රාධක‍්‍රිෂ්ණන් සහ තමා ඇමැති ධූරවලින් ඉල්ලා අස්වන බව නව ගම්මාන, වතු යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන ඇමැති පලනි තිගාම්බරන් මහතා පැවසීය.
රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් ගෙන ගිය සටන ඉකුත් දා අත්සන් තැබුණු වතු කම්කරු ගිවිසුම මගින් ඇමැති නවීන් දිසානායක, ආරුමුගම් තොණ්ඩමාන් සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් විසින් පාවා දුන් බවට හෙතෙම චෝදනා කළේය.

ඊයේ (30දා) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති පලනි තිගාම්බරන් මහතා මෙසේද කීවේය.

‘‘අපි අගමැතිවරයා සමග මේ ප‍්‍රශ්නය ගැන හෙට කතා කරනවා. එහිදී මේ ප‍්‍රශ්නයට විසඳුමක් නොලැබුණොත් අපි ඉල්ලා අස්වෙනවා. රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දිය නොහැකි නම් රුපියල් 140ක ඵලදායිතා දීමනාව හෝ නැවත දෛනික වැටුපට එක් කළ යුතුයි. අපේ දමිළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායකයා වන ඇමැති මනෝ ගනේෂන් මහතා සමග මම කතා කළා. අපිට තවදුරටත් ජනතාව රවටන්න බෑ. ඒ නිසා හෙට වෙන කොට මේ ප‍්‍රශ්නය විසඳීමට රජය සහ හාම්පුතුන්ගේ සංගමය කි‍්‍රයා නොකළොත් අපි හැටන් නගරයේදී ජනතාව සම`ග සත්‍යග‍්‍රහයක් පවත්වනවා. වඩිවේල් සුරේෂ්ලා උදේට මහින්ද රාජපක්ෂ මහත්තයා සමගත් හවසට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සමගත් ගනුදෙනු කරනවා. අපි එහෙම නෙවෙයි. අපි පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන්. වැඩ කරනවා හැර ජනතාවට බොරු කරන්න අපිට බෑ. අපේ සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින හය දෙනාම ඉන්නේ එක මතයක. මේ ආණ්ඩුව පාවා දෙන්නන් සම`ග අපි වැඩ කරන්නේ නෑ. තොණ්ඩමන්ලා, නවීන්ලා, වඩිවේල් සුරේෂ්ලා එකතුවෙලා වතු කම්කරු ජනතාව පාවා දුන්නා. ඉකුත් දා අත්සන් කළ ගිවිසුම හරහා වතු කම්කරු ජනතාවට ලොකු වැරැුද්දක් කළ බව අපි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දුන්නා. ඒ නිසා වතු කම්කරු දෛනික වැටුපෙන් කපා දැමූ රුපියල් 140ක ඵලදායිතා දීමනාව හෝ නැවත ලබා දීමට කි‍්‍රයා නොකරන්නේ නම් අපි මේ ඇමැති තනතුරු අත්හරින බව නැවත කිව යුතුයි.’’

සුජීව තත්සර
gossip lanka