'මරණ දඬුවම ගැන තීරණයේ වෙනසක් නෑ' - ජනාධිපති

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් ඊයේ (21දා) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහන අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය..

මත්ද්‍රව්‍ය අභියෝගය ජයගෙන ඇති පිලිපීන ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර ඇති තීරණ තමා විසින් ක්‍රියාත්මක නොකළ ද ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට බියේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා දැඩි තීන්දු තීරණ වෙනස් නොකරන බව ද කියා සිටියේය.

පිලිපීනය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම කල හැටි :

පිලිපීන ජනාධිපති රොඩ්‍රිගුස් දුතාර්තේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වුවකු වන අතර එහිදී ඔහු විසින් අනුගමනය කර ඇති ඇතැම් ක්‍රියාමාර්ග මානව හිමිකම් සංවිධානවල බරපතල විවේචනයට ලක්ව ඇත.

ජනාධිපති දුතාර්තේ මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයක් ගෙන යනවා යයි කියමින් 2016 මැයි මාසයේ ඔහු ජනාධිපති වූ දා සිට මේ වන විට 20,000 කට අධික පිලිපීන ජාතිකයින් මරා දමා ඇතැයි එරට විපක්ෂය කියයි.

හියුමන් රයිට්ස් වොච්, ඇමනෙස්ටි ඉන්ටර් නැෂනල් වැනි මානව අයිතිවාසිකම් ගැන ‌සොයන ජාත්‍යන්තර සංවිධාන වල වාර්තා අනුව එසේ නීති විරෝධීව මරා දමා ඇති සංඛ්‍යාව 12000 කට අධික වන අතර මානව වර්ගයාට එරෙහි දරුණු අපරාධකරුවෙකු ලෙස ඔහුව හංවඩු ගසා ඇත.