රනිල්, මහින්ද වෙනුවෙන් ගෙනා කැබිනට්‌ පත්‍රිකාවට අනුමැතිය නොලැබේ

මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඉල්ලීම මත විපක්‌ෂනායක කාර්යාලය සඳහා අතිරේක ලේකම්වරයකු පත්කරන ලෙස ඉල්ලා ඊයේ (02දා) දින පැවති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කරන ලද කැබිනට්‌ පත්‍රිකාවට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමිව නැත.
එම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කිරීමටද තීරණය වූ බව කැබිනට්‌ ඇමතිවරයෙක්‌ කීය.

අදාළ කැබිනට්‌ පත්‍රිකාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමු කර තිබිණි.

එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනකු පෙන්වා දී ඇත්තේ විපක්ෂ නායක තනතුර සඳහා මතභේද පවතින බැවින් ඉදිරි සතියේ කථානායකවරයා විසින් ඒ ගැන අවසන් තීන්දුවක් ලබාදෙනු ඇති බවයි. එහෙයින් එම යෝජනාව සලකා බැලීම කල් දැමිය යුතු බවටද මෙහිදී සාකච්ඡා වී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පවසා ඇත්තේ විපක්ෂ නායකවරයාට ඒ සඳහා කැමැති පුද්ගලයකු පත්කර ගැනීමට ඉඩ දිය යුතු බවයි.

නව වසරේ පළමු කැබිනට්‌ රැස්‌වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැය භාගයක පමණ කාලයක්‌ පැවතී ඇත.