'ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් පමණයි' - පොළොන්නරු පොහොට්ටු නායකයා කියයි

මීළඟ ජනාධිපතිවරයා බිහිවන්නේ පොහොට්ටුවෙන් බවත් එය වැලක්වීමට කිසිවෙකුටත් නොහැකි බවත් පොළොන්නරුව දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අවධාරණය කරයි.

මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු (පොහොට්ටු පක්ෂය) තරුණ බල මණ්ඩල සමුළුවට එක්වෙමින් රණසිංහ මහතා මේ බව සදහන් කළේය.
මීළඟ ජනාධිපතිවරයා රට එක්සේසත් කිරීමට සහය දැක්වූ අයෙකු බව එහිදී පැවසු මන්ත්‍රීවරයා දැනටමත් 55% ක ඡන්ද පදනමක් රට තුළ ඒ වෙනුවෙන් පොහොට්ටුව ගොඩනගා අවසන් බවද කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

''අපි පළාත් පාලන මැතිවරණයට ආවේ රනිල් මෛත්‍රී මධුසමය වෙලාවේ. මේ මධුසමය වෙලාවේ අපිට පුලුවන් වුනා ආණ්ඩුව හොල්ලන්න 48% ක් අපි ඡන්ද ගත්තා. එදා ශ්‍රී.ල.නි.ප යට තිබුණ ජන්ද ටිකත් අද තියෙන්නේ පොහොට්ටුවේ. පළාත් පාලන ඡන්දයේදී 48%ක් වුන ඡන්ද ප්‍රතිඵලය දැන් 55% කට අපි පත් කරලා තියෙනවා.

මේ රටේ ඊළග ජනාධිපති බිහිවන්නේ අනං මනං ලකුණු වලින් නෙමෙයි පොහොට්ටුවෙන්. මේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රට එක්සේසත් කරන්න සහය දුන්න නායකයෙක්.මේ රට යුද්ධයෙන් ගලවා ගන්න සහය දුන්න කෙනෙක්. පොහොට්ටුවේ අපේක්ෂකයා පරාජය කරන්න පුලුවන් කිසිවෙකු නෑ. එතරම් ප්‍රභල අපේක්ෂකයෙකුයි පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපිට ජයග්‍රහණය පිළිබද කිසිම සැකයක් නෑ.''