එජාප ජනපති අපේක්ෂකයා සජිත් !

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර, ඒ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
රක්වාන ප්‍රදේශයේ ඊයේ (13) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවට එ.ජා.ප.යේ මන්ත්‍රිවරුන් බහුතරයක් ඉදිරිපත් කර ඇති යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන ඇතැයි "ඉරිදා මව්බිම" පුවත්පත වාර්තා කට ඇත.

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට එ.ජා.ප. මන්ත්‍රිවරු බහුතරයක් මෙන්ම එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද ඉදිරිපත් කර ඇති යෝජනාවට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇතැයි ද එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු පැවසු බව 'මව්බිම' වාර්තාවේ සඳහන් වේ.

රනිල් - සජිත් එක්ව තරඟ බිමට !

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී එජාප ප්‍රධානියකු පැවසුයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.

රනිල් - සජිත් සුසංයෝගයෙන් යුතුව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීමට එජාපය සුදානම් බවත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි ඔහු කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු තෝරා ගැනීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණදී සිටින 'පොහොට්ටු' පක්ෂය ඔවුන්ට හිතවත් මාධ්‍ය හරහා එජාපය තුල අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය කිරීමේ බොළඳ උත්සාහයක නිරතව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසිය.