ජනපති තම චක්‍රලේඛය කඩා රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කරලා !

වයස 70 ට අඩු සහ උපාධියක් තිබීම ඇතුළු සුදුසුකම් කිහිපයක් තිබෙන නිලධාරීන් රාජ්‍ය ආයතනවලට පත්කිරීමට කටයුතු කළ යුතු බව චක්‍රලේඛයක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතත් මේ වනවිට ජනාධිපතිවරයා විසින්ම වයස 70 ට වැඩි සහ උපාධියක් නොමැති ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පත්කර ඇතැයි සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

සිවිල් සංවිධාන එකමුතුව විසින් ඊයේ (15) රාජගිරියේ පිහිටි එම සංවිධාන කාර්යාලයේදී සංවිධානය කළ මාධ්‍ය හමුවේදී රත්නප්‍රිය මහතා එබව සඳහන් කළේය.

ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

''මේ වනවිට රාජ්‍ය ආයතන රැුසක නිලධාරීන් පත්කර ගැනීමට ඊට තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඇතැම් අයට රජයෙන් තනතුරු ලබාදීමට උත්සහ කළත් එම චක්‍රලේඛය නිසා නොහැකි වී තිබෙනවා.

රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත්කිරීම රජයේ ඇමැතිවරුන් විසින් කළ යුතුයි. එයට බලපෑම් කරන්න ජනාධිපතිවරයාට අයිතියක් නැහැ. අවශ්‍ය නම් දෙපාර්ශ්වයට එක`ගතාවෙන් කටයුතු කරන්න පුළුවන්.

මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට තනතුරු දීමේදී එක්සත් ජාතික පක්‍ෂයේ අයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයට දෙවිදියකට සලකන බව පෙනෙනවා. මේ වන විටත් මෙම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පත්කර තිබෙනවා.

මෙවැනි ක්‍රියා නිසා රාජ්‍ය අංශවල ප්‍රධානීන් නොමැතිව වැඩ කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ඒ නිසා කඩිනමින් මේ ආයතන සඳහා නිලධාරීන් පත්කරන්න කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.''
gossip lanka