එක්නැලිගොඩ නැතිවීමේ වගකීම එජාපය බාරගත යුතුයි - සන්ධ්‍යා එක්නැලිගොඩ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව මහින්ද රාජපක්‍ෂ මහතාට බිලිගන්න ඉඩ හැරීමේ වගකීම එක්සත් ජාතික පක්‍ෂය භාරගත යුතු බව ඒ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ (30දා) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණු නඩුවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවාය.
හෝමාගම අධිකරණය තුළ දී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් බැන තර්ජනය කිරීම සම්බන්ධ නඩු විභාගයට පැමිණි අවස්ථාවේදී ඇය එසේ පැවැසුවාය.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්නැලිගොඩ මහත්මිය මෙසේ ද කීවාය.

දිගින් දිගටම මේ දිනවල මාධ්‍යවල ප්‍රචාරය වෙනවාට ඥානසාර හිමියන්ට සමාව දෙන්න යනවා කියලා. මම ඒ සම්බන්ධව ජනාධිපතිතුමාට, නීතිපතිතුමාට සහ අධිකරණ ඇමැතිතුමියටත් බුද්ධ ශාසන ඇමැතිතුමාටත් ලිඛිතව දැනුම් දුන්නා. මේක ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. සෘජුවම මට බලපාන ප්‍රශ්නයක්. ඒක නිසා ඥානසාර හිමියන්ට නිදහස ලබා නොදෙන්න කියලා ඉල්ලමින් වගකිව යුත්තන් දැනුවත් කළා. නමුත් මට දැනගන්න ලැබිලා තියෙනවා අධිකරණ ඇමැතිතුමියට මේ කිසිවක් දැනුම් දීලා නැහැ කියලා.
යම් හෙයකින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබා දුනහොත් ඒකෙන් මේ රටේ අධිකරණයට අපහාසයක් වෙනවා සේම මගේ ජීවිතයට හා ඉදිරියේදී මට තියෙන අනෙක් නඩුවලටත් ඒක බලපානවා කියන එක ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරනවා.

ඒ වගේම අගමැතිතුමාදන්නවා ප්‍රගීත් එක්නැලිගොඩ බිලිදුන්ගේ එතුමන්ලාගේ පක්‍ෂය කියලා. මහින්ද රාජපක්‍ෂට ප්‍රගීත් එක්නැලිගොඩ බිලිදුන්ගේ එතුමන්ලාගේ පක්‍ෂයයි. එක්සත් ජාතික පක්‍ෂායේ ඇමැතිවරුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් සමාව අරගෙන විවිධ දේවල් කියනවා. හාමුදුරුවෝ බලන්න යනවා. එහෙම බලන්න යන්න පුළුවන්. ඒත් ඒ අයට දැනුම් දෙන්න ප්‍රගීත් එක්නැලිගොඩගේ ජීවිතය නැති කරලා ගැහැනියක් සහ ළමයි දෙන්නෙක් අනාථ කළේ එතුමන්ලාගේ පක්‍ෂය බව.

 මව්බිම