බලපෙරළියත් සමග 'සේනා' ආ හැටි එජාප සාකච්ඡාවේදී මාතෘකාවක් වෙයි

සේනා දළඹු උවදුර ජාතික ව්‍යසනයක් ලෙස සලකා කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයේ අරලියගහ මන්දිරයේ ඊයේ (21) රාති‍්‍ර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි අමාත්‍ය දයා ගමගේ පැවසුවේ.
සේනා දළඹු උවදුර මෙතරම් උඩුදුවා ගියේ ඉකුත් ඔක්තෝම්බරයේ සිදුවූ හදිසි බලපෙරළිය නිසා බවටද ඊයේ රාති‍්‍රයේ රැස්වූ එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේදී අදහස් පළව තිබෙනවා.

උවදුර හදුනාගත් මුල් අවස්ථාවේදී ඒ පිළිබද සුදුසු පියවර ගැනීමට ආණ්ඩුවක් රටේ නොපැවති බවයි එහිදී ප‍්‍රකාශ වී ඇත්තේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන්ගෙන් ද ප‍්‍රශ්න කළා. ඔහු පැවසුවේ සේනා දළඹු උවදුර මර්දනය කිරීමට ගත හැකි පියවර පිළිබද අද (22) රැස්වන කැබිනට් මණ්ඩලයේදීද සාකච්ඡා කරන බවයි.

සේනා දළඹුවාගෙන් මුලින්ම හානියට ලක්වූයේ බඩඉරිගු වගාවයි. බඩඉරිගු හෙක්ටයාර 40,000 ක් පමණ හානියට ලක් වූ බව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ නිසා වාර්ෂික අස්වැන්නෙන් සියයට 20 ක් පමණ අහිමි වනු ඇති බවයි වැඩිදුරටත් ඇස්තමේන්තු කර ඇත්තේ. එයින් ඇතිවන හිඟය පියවා ගැනීම සඳහා බඩඉරිගු ආනයනය කිරිමට සිදුවනු ඇතැයි ද  ප‍්‍රකාශ වුණා.

බඩඉරිගු වගාවෙන් පසු සේනා දළඹුවා වී වගාවටද හානි කිරීමට පටන් ගෙන ඇති බවයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ.

මේ අතර සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මේ වනවිටත් විවිධ බෙහෙත් වර්ග හදුනාගෙන හෝ නිපදවා තිබෙනවා. කුලියාපිටියේ ආයුර්වේද වෛද්‍යවරයෙකු ඊයේ (21) පැවසුවේ මිනිත්තු 10 ක් ඇතුළත සේනා දළඹුවා විනාශ කළ හැකි ඖෂධයක් තමන් විසින් නිපද වූ බවයි. අත්හදා බැලීම සාර්ථක වූ බවද රජයේ සහාය ඇත්නම් මෙම ඖෂධය රටපුරා ප‍්‍රචලිත කළ හැකි බවද ඔහු පැවසුවා.