ඇමති පැටිකිරි ගැන හතේ කල්ලියෙන් 08දා වාර්තාවක්

ආණ්ඩුවේ සිටින "හොඳ හා නරක" අමාත්‍යවරුන් පිළිබඳ වාර්තාවක් අග්‍රාමාත්‍යවරයාට යොමුකිරීමට එජාප පසුපෙළ මන්ත්‍රී හතේ කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තාවේ.

එසේ වාර්තාවක් පමණක් ඉදිරිපත් කිරීමෙන් නොනැවතී ලබන 8 වැනිදා පැවැත්වෙන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නරක අමාත්‍යවරුන් නම් වශයෙන් හෙළිදරව් කිරීමට ද සූදානමින් සිටින බව පැවසේ.
මාර්තු මස ඉදිරිපත් කරන අයවැයට පෙර මේ නරක අමාත්‍යවරුන් නිවැරදි නොවුණහොත්, ඔවුන්ගේ වැය ශීර්ෂයන්හිදී තම පසුපෙළ විස්සකට ආසන්න මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිට ඒවා පරාජය කිරීමට කටයුතු කරන බව ද මේ පිළිබඳව අදහස් දක්වමින් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසා තිබේ.

එවන් අවස්ථාවක් උදාවුවහොත් එම අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ද අග්‍රාමාත්‍යවරයාට දැනුම්දෙන බව ඔහු කියා සිටී.

පාක්ෂිකයන්ගේ අදහස් නොවිමසන, තමන් ගැනම පමණක් සිතන, පසුගිය වසර තුන හමාරේ ආණ්ඩු කළ ආකාරයට දිගටම කටයුතු කිරීමට උත්සාහ දරන එම අමාත්‍යවරුන් නිසා පසුපෙළ මන්ත්‍රීන්ට නියෝජ්‍ය අමාත්‍ය තනතුරු වැනි වගකීම් පවා අහිමිවී ඇතිබවටද හතේ කණ්ඩායමෙන් චෝදනා එල්ල වී තිබේ.

මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ද 08 වැනිදා සාකච්ඡාවේදී කරුණු දක්වන බවයි.