ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීමට යෝජනාවක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඊයේ (19දා) අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවැසීය.

“අගමැතිතුමන් හා ජනාධිපතිතුමන් සාකච්ජා කර ඉතා ඉක්මනින් දේශපාලන වශයෙන් ප්‍රමුඛත්වය ලබා දීලා ඉතිරි රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට සහයෝගය ලබා දුන්න, විශාල පරිත්‍යාග කළ විශේෂයෙන්ම විජිතමුණි සොයිසා මැතිතුමාටත්, පියසේන ගමගේ මැතිතුමාටත්, ෆවුසි මැතිතුමන්ටත් ඇමතිකම් ලබා දෙන්න අපි යෝජනා කරලා තියෙනවා” ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රීලනිප 12ක් ස්වාධීන වෙන්න යයි!

මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාකර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ තීරණාත්මක සාකච්ජාවක් පසුගියදා පැවැත්වී බවයි.

දැනටමත් ආණ්ඩුව පක්‍ෂය සමග එක්ව කටයුතු කරන ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් 04 දෙනෙකුද මෙම පිරිසට අයත් බවත් පියසේන ගමගේ හා ලක්‍ෂමන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් දෙදෙනා සෘජුවම එක්සත් ජාතික පක්‍ෂය හා එක්වීමට තීරණය කර ඇති බවත් මෑත කාලයේ ඔහුන් දෙදෙනා එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවන්වලටද එක්ව සිටි බවත් එම පුවත් වාර්තාවල සඳහන් වේ.