'පොහොට්ටුවට යටත් නොවීය යුතුයි'- ශ්‍රීලනිප සංවිධායකවරු කියති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට යටත් නොවී සන්ධාන ගත විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සංවිධායකවරු සඳහන් කරති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරියට ගෙන යා යුත්තේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති බවත්, එසේ නොමැති වුවහොත් පක්ෂයට අනාගතයක් නොමැති වන බවත් දකුණු පළාත් සභා අමාත්‍ය අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක යූ.ජී. ආරියතිලක මහතා සඳහන් කළේය.

එසේ නොමැතිව ජාතිවාදී අදහස් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියහොත් එමගින් රටට යහපතක් සිදු නොවන බවද පවසා සිටියේය.

ඊයේ (15 දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 09 දෙනෙකු ඇතුළු පිරිසක් කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා කරුණු 05 කින් යුත් ප්‍රතිපත්ති මාලාවක්ද පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම කණ්ඩායම විසින් භාර දුන් බවද ඔවුන් සඳහන් කළේය.

එම ප්‍රධාන යෝජනා 5 මෙසේය.

1. අප පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට නායකත්වය ගන්නා අතරම එයට ප්‍රමුඛත්වය ලබාදීම,

2. ජාතිවාදී කණ්ඩායම් සමග සන්ධාන ගතවීම තුළින් පක්ෂයට සිදුවිය හැකි හානිය පිළිබඳව බැරෑරුම්ව අවධානය යොමු කිරීම,

3. බැදුම්කර සිද්ධියේදී ජනාධිපති ගනුලැබූ පියවර ඉහළින් අගය කරන අතර අල්ලසට හා දූෂණයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග වඩවඩාත් ශක්තිමත් කිරීම.

4. එක්සත් ජාතික පක්ෂය සමග එකතුවීමට පක්ෂයේ සමහරු දරණ ප්‍රයත්නයට කිසිසේත් එකග නොවන අතර,
එමෙන්ම 2015 ජනවාරි 08 වනදා මෙරට පොදු ජනතාව විසින් බලයෙන් ඉවත් කල කණ්ඩායම පක්ෂය දෙකඩ කර පක්ෂයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත ලෙස කටයුතු කරමින් සිටියි. ඔවුන් සමග ද සන්ධාන ගතවීමට ද එකගවිය නොහැකිය.

5. නවීන ලෝකය සමග ඉදිරියට ගමන් කරන රටක් බවට දේශය පත්කරලීම සදහා නව සමාජ ආර්ථික වැඩ පිළිවෙළක් මත පදනම් වූ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට ශ්‍රිලනිප ය පත්කරලීමට නායකත්වය ගැනීම.