එල්.ටී.ටී.ඊ දැඟලිල්ල පිටුපස ස්විස් බානු !

වවුනියාවෙන් යළි හිස එසවීමට සූදානම් වන කොටි රැල මෙහෙයවනු ලබන්නේ ස්විට්සර්ලන්තයේ සිටින ‘බානු’ නමැති ප‍්‍රබල කොටි සාමාජිකයා බවට ආරක්‍ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

එම කොටි සාමාජිකයා ඉන්දියාවේ පුහුණුව ලබා කාලයක් කොටි සංවිධානයට සේවය කොට කොටි හා රජය අතර ස්විට්සර්ලන්තයේදී සාම සාකච්ඡා පැවති වකවානුවේදී ස්විට්සර්ලන්තයට පැන එහි සිට කොටි සංවිධානයට සහාය දක්වා ඇතැයි අනාවරණය වී තිබේ.
යුරෝපා රටවල සිටින දෙමළ ඩයස්පෝරාවේ පිරිසට එහි රැඳී සිටීමටත් කොටි වෙනුවෙන් යැයි කියමින් ආධාර රැස් කිරීමටත් පරිසරය සකසා ගත හැකි වන්නේ උතුරු පළාත තුළ කොටි ක‍්‍රියාකාරකම් පැවතියහොත් පමණක් බව ආරක්‍ෂක අංශ කියා සිටියි.

මේ නිසා කෙසේ හෝ කොටි යළි හිස එසවීමට සූදානම් වන අතර අවස්ථා හයකදී උතුරෙන් කොටි නැඟී සිටීමට උත්සාහ කළත් ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් පිළිබඳව තොරතුරු ආරක්‍ෂක අංශ අතට පත්වීම නිසා එසේ කළ නොහැකි වූ බවත් යළි නැඟිටීමට උත්සාහ දරන කොටි රැල පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ආරක්‍ෂක අංශ පවසයි.

ඔවුන්ට යළි නැගිටීමට කාලයක් කොටි සංවිධානයේ සේවය කොට විවිධ රටවලට පලා ගොස් සිටින ප‍්‍රබල සාමාජිකයන් උදව් කරන බවත් ඔවුන් ඉන්දියාවට පැමිණ එහි සිට වරින් වර බෝට්ටු ඔස්සේ උතුරට ළඟාවන බවටත් ආරක්‍ෂක අංශ තොරතුරු සොයාගෙන තිබේ.

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පළාතේදී විශාල ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ හමු වූ කොටි නායකයා පැමිණ ඇත්තේ ද ඒ ආකාරයට බවට ආරක්‍ෂක අංශ තොරතුරු හෙළිකරගෙන ඇත.

වවුනියාවේදී තැනින් තැන විවිධ ක‍්‍රියා කරමින් යළි නැඟී සිටීමට උත්සාහ දරන කොටි රැල ස්ථාන කිහිපයක සිට කටයුතු කළ ද ඔවුන් අතර ජාලාත්මක සංවිධාන ව්‍යුහයක් හා සැලැස්මක් ඇතැයි ආරක්‍ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

වවුනියාවේ පුලියන්කුලම පුතූර් ප‍්‍රදේශයේදී බෝම්බ මල්ලක් දමා පලා ගිය කොටි ප‍්‍රබලයා හා ඔහුගේ සගයා අත්අඩංගුවට ගැනීමට හැකි වුවහොත් මේ සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රාශියක්ම අනාවරණය කර ගැනීමට හැකි වන බව ද පරීක්‍ෂණ මෙහෙයවන ආරක්‍ෂක අංශ නිලධාරීහු කියා සිටිති.

(දිවයින)