'විමල්ගේ ප්‍රකාශය අධිකරණයට කල අපහාසයක්'- අධිකරණ ඇමැතිනිය

ඇමෙරිකානු අධිරාජ්‍යවාදය පතුරුවන අය අද මෙරට අධිකරණය මෙහෙයවන බව පවසමින් මන්ත්‍රි විමල් වීරවංශ අධිකරණයට අපහාස කරන බවත් ඔහු එසේ ප්‍රකාශ කිරීමට හේතු වී ඇත්තේ පසුගියදා ඔහුට අධිකරණය මඟින් වන්දියක් ගෙවීමට නියෝගයක් දීම නිසා බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
එජාපය රට බෙදන්න යනවා බෞද්ධාගමට තැනක් දෙන්නේ නැහැ ආදී වශයෙන් විවිධ කතා කියමින් මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගානේ ගොස් වොයිස් කට් දෙන බවත් ඔහු එසේ ප්‍රකාශ කරන්නේ එජාපයෙන් ඡන්දය ඉල්ලීමට ස්වාමීන්වහන්සේලාට ඉඩ නොදෙන නිසා බවත් ඒ මහත්මිය කීවාය.

අවුරුදු පහකට සැලසුම් කළ රජය අවුරුදු තුනෙන් පෙරළා දැමීමට සැලසුම් කළත් එය කිරීමට ඒ අයට නොහැකිවූ බවත් දැන් ජනාධිපතිවරයාගේ කෙනෙහිලිකම්වලට මුහුණ දෙමින් කටයුතු කිරීමට සිදුව ඇති බවත් කෙසේ නමුත් ඒ හැම අභියෝගයකටම මුහුණ දෙමින් හරි දේ හරියට කරන බවත් ඇය පැවැසුවාය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේබව සඳහන් කලේ බලංගොඩ රංදොල ප්‍රජා ජල ව්‍යපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.