ජනාධිපතිටත් නොදන්වා ඇමරිකා හමුදා කදවුරක් ලංකාවේ හදන්න අවසර දුන්නේ කවුදැයි හෙලිවේ.. පැනමාවේ ලේ-කදුළු ඉරණම ලංකාව ඉදිරියේ !

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායක වගේම ආරක්ෂක අමාත්‍යවරයා වන්නෙත් ජනාධිපතිවරයා.  නමුත් ජනාධිපතිටත් හොරෙන් ලංකාවේ ඇමෙරිකානු කඳවුරක් ඉදි කරන්න ආණ්ඩුව අවසර දීලා.  මේ පිළිබඳ සියළු කටයුතු මෙහෙය වන්නේ ඇමෙරිකානු තානාපති කාරයාලයේ තිබෙන ආරක්ෂක සහයෝගිතා කාරයාලය මගින්.
තමන්ගේ භූමියේ ඇමෙරිකානු හමුදාවන්ට ලගින්න දුන්නොත් මොකද වෙන්නේ කියන පාඩම පැනමාව අපට ලෙයින් කඳුලින් උගන්වා තිබෙනවා.  පැනමා ඇල ඉදි කරන්න පැනමාව ඇමෙරිකාවට තමන්ගේ ඉඩම් බද්දට දුන්නා.  ඇලේ ආරක්ෂාවට ඇල දිගේ ඇමෙරිකානු හමුදා කඳවුරු හදන්නත් ඉඩ දුන්නා.  අන්තිමට මොකද වුණේ?  හමුදා බලයයි මුදල් බලයයි යොදවලා ඇමෙරිකාව තමයි මැතිවරණ වල ජයග්‍රාහකයා තීරණය කරන්නේ.  1977 දී පැනමා ඇල පැනමාවට පවරා ගන්න යෝජනා කළ ජනාධිපති ඔමාර් ටොරිජොස් සීඅයිඒ සංවිධානය ගුවන් යානා අනතුරකින් ඝාතනය කරනවා.  1989 දී ජනාධිපති මැනුවෙල් ගෝරීන් යෝජනා කරනවා පැනමා ඇලට ඇමෙරිකාව ගෙවන බදු කුලිය වැඩි කරන්න.  හදිසියේම ඇමෙරිකාව චෝදනා කරනවා ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය සපයන ජාවාරම කරන්නේ ජනාධිපති ගෝරීන්.  පැනමාවේ ඇමෙරිකානු කඳවුරු තුල සිටි ඇමෙරිකානු හමුදා  පැනමාවට කඩා වැදිලා ජනාධිපති අත්අඩංගුවට අරගෙන ගුවන් යානාවක පටවා ගෙන ඇමෙරිකාවට අරගෙන යනවා.  ඊට පස්සේ ජනාධිපතිට නඩු දාලා වසර 20ක් හිර ගෙට යවනවා.  ඒවායින් පාඩම් ඉගෙන ගත්තු ඊ ළඟ ජනාධිපතිවරු ඇමෙරිකානු රූකඩ ලෙස කටයුතු කරන්න හිත හදා ගත්තා.  ලංකාවටත් මේ ඉරණම අත් වෙන්න ඉඩ තිබෙනවා.

ගේ ඇතුලට බල්ලෙකු ආවොත් මිනිස්සු කොස්සක් අරගෙන ගහලා එලවනවා.  හැබැයි ගේ අස්සට කොටියෙකු ආවොත් අපි කොටියාටත් ගහලා එලවනවා ද?  නෑ.  කොටියාට ගේ භාර දීලා අපි එළියට දුවනවා.  අමෙරිකාව රට ඇතුලට ගෙන්නා ගන්නවා කියන්නේ හරියට කොටියෙකු ගෙට රිංගුවා වගේ වැඩක්.  එජාපයට වඩාත් වැටහෙන්න ඉංග්‍රිසි භාෂාවෙන් මේක කිව්වොත් do not catch anything what you can’t throw away.  විසි කළ නොහැකි කිසිවක් අල්ලා ගනු එපා.  එලැවිය නොහැකි කිසිවෙකු ගේ ඇතුලට ගන්න එපා.  ආණ්ඩුව දැන්වත් ඒ ඔවදන හිතට ගත්තොත් හොඳයි.

– අරවින්ද අතුකෝරල