gossip lanka

අගමැති අනුන්ගේ දරුවෙකුට උප්පැන්න දීලා.. කියන්නේ බොරු නොවේ නම් සුළු දෙයක් කරන්නැයි අභියෝගයක්

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රීය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ව්‍යවස්ථා කෙටුම්පතක් තවම ඉදිරිපත් කර නැති බවත් දෙමළ සංධානය ඒකීය රාජ්‍යය පිලිගෙන ඇති බවත් අගමැතිතුමා උත්සවයක දී සඳහන් කළා.
අගමැතිතුමා තවමත් කියන්නේ බොරු.  ඉදිරිපත් කර ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පතක් බව පළමු පිටුවේම කියා තිබෙන බව අපි පෙන්වා දුන්නා.  ඒ විතරක් නොවේ, මෙය ව්‍යවස්ථා කෙටුම්පතක් බව මෙහි කර්තෘ නොනිල සුමන්තිරන් මන්ත්‍රිතුමා පවසනවා.  ඒ විතරක් නොවේ දෙරණ නාලිකාවේ අපෙත් සමග කළ විවාදයේ දී හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනේ දී යුනිටරි නමින් ඉංග්‍රිසියෙන් හඳුන්වන ඒකීය රාජ්‍යය තමන් පිලි නොගන්නා බවත් තමන් පිලිගන්නේ ඒකීය රාජ්‍යයට තමන් විසින් ලබා දී ඇති ර්අථ නිරූපණය පමණක් බවත් ඉතාම පැහැදිලිව පැවසුවා.

ගහක අත්තක අග බර කරන්නට බර කරන්නට අත්ත ගහින් කැඩී වෙන් වෙනවා වගේ දෙයක් තමයි පෙඩරල් රාජ්‍යයක් හදලා පලාත් වලට සියලු බලතල ලබා දුන්නම  සිදුවන්නේ. ඒ වගේම තමයි ව්‍යවස්ථාවේ නොබෙදුනු රාජ්‍යයක් බව ලියලා බෙදෙන්නට අවශ්‍ය වැඩ ටික සිදු කළහම ව්‍යවස්ථාවේ බෙදිය නොහැකි රාජ්‍යයක් ලෙස සඳහන් කළත් රට බෙදෙන බව ස්පාඤ්ඤයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. ස්පාඤ්ඤ ව්‍යවස්ථාවේ තියනවා එම රට බෙදිය නොහැකි නොබෙදුනු රාජ්‍යයක් බව. නමුත් එහි පෙඩරල් රාජ්‍යයක් ලෙස බලය බෙදා හැර ඇති නිසා ස්පාඤ්ඤයේ බාත් ප්‍රාන්තයේ සහ කැටලෝනියාවේ දැවැන්ත බෙදුම්වාදී ව්‍යාපාර දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපට වැදගත් වන්නේ ඒකීය ලක්ෂණය මිසක් ඒකීය ලේබලය නොවෙයි. මේ වන විටත් සුමන්තිරන් මන්ත්‍රිතුමන් සහ සම්බන්ධන් මන්ත්‍රීතුමාත් මේ ව්‍යවස්ථාව පෙඩරල් ලක්ෂණවලින් සමන්විත ව්‍යවස්ථාවක් බව සඳහන් කරලා ඉවරයි. සුමන්තිරන් මන්ත්‍රිතුමන් දකුණට ඇවිදින් මොනවා කිව්වත් උතුරේ වලිකාමන් ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ මෙය පෙඩරල්වලටත් එහා ගිය ව්‍යවස්ථාවක් බවයි. ඒ නිසා අගමැතිතුමනි දැන්වත් රට රැවටීම නවතනු මැනවි කියලා අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

මගෙ ඇස් දෙක මට විශ්වාසයි. පසුගිය ජනවාරි එකොළොස්වැනිදා මමත් ආණ්ඩුක්‍රම සම්පාදන මන්ඩලයේ සිටියදී තමයි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එතුමාගේ කිසිම සම්බන්ධයක් නැති නම් එතුමා එය ඉදිරිපත් කළේ මොකටද? ඔන්න ඕකට තමයි කියන්නේ අනුන්ගේ දරුවන්ගේ උප්පැන්නට තමන්ගේ නම දෙන්නට යන්න එපා කියලා. අගමැතිතුමා මෙය නො හැදුවා වෙන්නට පුළුවන්.  මේ පිටිපස්සේ ඉන්නේ  සුමන්තිරන්  ජයම්පති වික්‍රමරත්න යන මන්ත්‍රිවරුන් සහ සුරේන් ප්‍රනාන්දු නීතිඥතුමා වෙන්නත් පුළුවන්.  ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරද්දී අගමැතිතුමන් පිටුවක් වත් කියවා නොතිබුණා වෙන්නත් පුළුවන්. මොකක්ද අඩුම තරමින් පළවෙනි පිටුව හරි කියෙව්ව නං මේකේ  ව්‍යවස්ථාව කියලා ලියලා තියෙන බව එතුමන් දැනගන්නවා. නමුත් එතුමන් විසින් මෙය ඉදිරිපත් කලාට පස්සේ මෙහි අයිතිකාරයා එතුමන් තමයි. දරුවාගේ උප්පැන්නයට නම දුන්නා නම් දරුවා වැරදි කරන විට පාසැලේ මුල් ගුරුතුමන් හමුවෙලා බැනුම් අහන්න සිද්ද වෙනවාමයි.

එතුමාට දැන් පැනලා යන්නට බැහැ ඒ නිසා අපි අගමැතිතුමන්ට කියනවා ඔබතුමා මේ ලේඛනය පිළිගන්නෙ නැතිනම් මෙහි අයිතිකරු ඔබතුමා නොවෙයි නම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කැඳවා මෙම ලේඛනයේ අයිතිකරු තමන් නොවේ යැයි ප්‍රකාශ කරමින් මෙම ලේඛනය ඉවත්කර ගන්න.  ලේඛනයේ සැබෑ අයිතිකරුවන්ට මෙය ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙන්න.

– අරවින්ද අතුකෝරල
gossip lanka