සිංහරාජ වන සංහාරය සැගවීමේ උත්සාහයක් !

සිංහරාජයේ කුඩව පිවිසුම් දෙරටුව අසල සිට වනාන්තරයට හානිවන පරිද්දෙන් සිදුකරන මාර්ග ඉදිකිරීම සම්බන්ධව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සත්‍ය තොරතුරු සගවමින් සිටින බව පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියා සිටියි.
සිංහරාජය කන්නෙලිය ඇතලු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශයට අයත් රක්ෂිත වනාන්තර වන බුන්දල, නකල්ස්, ලුණුගම්වෙහෙර, ගල් ඔය, යාල, උඩවලව, විරක්කුලිචොලෙයි , වන්නියගම ,ගටදිවුල ,හුරළු වැව වැනි වනාන්තර තුළ ලෝක බැංකු ව මැදිහත් වීමෙන් ඒවා විනාශ වන පරිදි නොයෙකුත් ව්‍යාපෘති සිදු කිරීම සම්බන්ධව ඊයේ 14 දින පැවති මාධ්‍යය හමුවවේදී පරිසර සහ සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථාන නියෝජිතයින් මෙම අදහස් පළ කර සිටියේය.

තම සංවිධානය මේ පිළිබදව යුනෙස්කෝ මුලස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුනිස්කෝ කාර්යාලය මගින් පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා යැවූ ලිපියෙන් විමර්ශනයකට අවශ්‍යය තොරතුරු දන්වන ලෙස දන්වා ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සත්‍ය තොරතුරු සගවමින් සිටින බව මෙම අවස්ථාවට සහභාගී වු පරිසරවේදිනී  ශානිකා පතිරණ අදහස් දක්වමින් පවසා සිටියේය. එම නිසා යුනෙස්කෝ සංවිධානය මේ පිළිබද ස්වාධීන පරික්ෂණයක් පවත්වනු ඇතැයි තම සංවිධානය බලාපොරොත්තු වන බව ද ඇය කියා සිටියාය.

පරිසරවේදී පූජ්‍ය වෑකදවල රාහුල හිමිවයන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම මාර්ගය ඉදි කිරීම සාධරණීයකරණය කිරීමට මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමක් එම ප‍්‍රදේශයට රැගෙන යාමට ද ලෝක බැංකුව මුදල් වැය කර ඇති බවයි.

එමෙන්ම සිංහරාජයේ පාර කැපීම වෙනුවෙන් හදන සැළසුම වෙනුවෙන් කුරුණැගල පදිංචි කේ .පි .ශානක නැමති සැළසුම් ශිල්පියාට ලෝක බැංකුව විසින් 4446000 ගෙවා ඇති බවත් පරිසර අමාත්‍යාංශයට හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයටත් ඇමරිකානු ඩොලර් මිලියන 45 ලබාදී ලෝක බැංකුවට අවශ්‍යය විනාශය රක්ෂිත තුල සිදු කරමින් ඇති බවයි .