ජාතික ආණ්ඩුවේ හිටපු සන්ධාන ඇමතිවරු නිල නිවාස හා වාහන බාරදී නෑ !

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්වුවද, ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මෙතෙක් තම නිල නිවාස හා වාහන රජයට භාරදී නොමැති බව වාර්තා වේ.
යහපාලන ආණ්ඩුවෙන් ඒක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් යුත් දින 51ක තාවකාලික ආණ්ඩුවක් පැවැති අතර, පසුව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් බිහිවිය.

එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දෙසැම්බර්16 වැනිදා යළිත් වතාවක් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් පසුව නව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිට වූ අතර,ආණ්ඩුව පිහිටුවා අද (16දා) දිනයට මාසයක කාලයක් ගතව තිබේ.

මීට පෙර පැවැති ආණ්ඩුවේ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කරමින් නිල නිවාස ලබාගෙන සිටි ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුවද මෙතෙක් සිය නිල නිවාස රජයට භාරදී නොමැත.

එමෙන්ම ඇතැම් හිටපු අමාත්‍යවරුන් මෙන්ම වත්මන් මන්ත්‍රීවරුන් පිරිසක්ද අමාත්‍යාංශ වාහන භාරදී නොමැති බවද වාර්තාවේ.

නිල නිවාස සහ අමාත්‍යාංශ වාහන භාරනොදීම හේතුවෙන් අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට නිල නිවාස සහ අමාත්‍යාංශ වාහන ලබාදීමේදී ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බවද ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් 'අද'ට පැවසීය.

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී  හෙතෙම පවසා සිටියේ, ඇතැම් මන්ත්‍රීවරුන් අමාත්‍යාංශ නිල නිවාස තවමත් භාවිත කරන බවයි.

අමාත්‍ය ධුරවලින් ඉවත්ව මාස 03ක් යනතුරු නිල නිවාස භාවිත කළ හැකි බව පැවසූ දයාසිරි ජයසේකර මහතා,

"අමාත්‍ය ධුරවලින් ඉවත්වෙලා මාස 03ක් යනකම් නිල නිවාසවල ඉන්න අපට පුළුවන්.  එයට සම්පූර්ණ අයිතිවාසිමක් තිබෙනවා. එම නිල නිවාසවල විදුලිබිල, වතුර බිල් ගෙවන්නේ අපිමයි. නිවාසවල මාසික කුලිය ගෙවන්නෙත් අපිමයි. ආණ්ඩුවට කිසිම වියදමක් යන්නේ නැහැ. හිතන්න පුළුවන් මේ නිවාසවලට ආණ්ඩුවෙන්ගෙවනවා කියලා. ආණ්ඩුව සතපහක්වත් ගෙවන්නේ නැහැ. නිවාස පිරිසුදුකිරීම්වලට පවා මුදල් ගෙවන්නේ ඉන්න මන්ත්‍රීවරයාගේ පෞද්ගලික වියදමින්. අපි අමාත්‍යධුරවලින් දෙසැම්බර් මාසයේ ඉවත් වුණේ. මාර්තු මාසය වෙනකම් මේ නිවාසවල ඉන්න පුළුවන් අයිතිවාසිකම අපට තිබෙනවා.

අපි ඇමතිවරප්‍රසාද භාවිත කරන්නේ නැහැ. දැන් අපට අපේ ආරක්‍ෂකයෝ නැහැ, ආරක්‍ෂකයෝ දෙදෙනෙක් දක්වා අඩුකර තිබෙනවා. අපේ බැකප් වෙහිකල්ස් නැහැ(පසුගමන් රථ).ඒ දේවල් නැතිනම් වෙනමොනවද අපි භාවිත කරන ඇමති වරප්‍රසාද? විපක්‍ෂයේ ඉන්න තවත් මන්ත්‍රීවරුන් ඉන්නවා නිල නිවාසවලින් ඉවත්වෙලා නැති අය. නිවසේ සියලු වියදම් අපි ගෙවන්නේ. තිබෙන එකම ප්‍රශ්නය නිවාසවලින් ඉවත් නොවීම විතරයි. මාස තුනක් ගෙවුණට පස්සේ අපි බලනවා කතාකරලා ඒගැන" යැයි පැවසීය.

අද