ජනාධිපතිවරණය : 'මෛත්‍රීට ඒකාබද්ධයේ සහයදිය යුතුයි' - වාසු කියයි

මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුට ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සති අන්ත 'අනිද්දා' පුවත්පතට ප්‍රකාශකර තිබේ.
ජනාධිපතිවරණයක් කැඳවන බවට වාර්තා පළවීමත් සමග ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ වැනි පුද්ලයින් විසින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් යයි ප්‍රකාශ නිකුත් කිරීම මේ මොහොතේ නොකර සිටීම යහපත්බව ද ඔහු කියා සිටියි.

මේ අතර 'මව්බිම' පුවත්පතට ප්‍රකාශයක් කර ඇති වාසුදේව නානායක්කාර මහතා, එසේ ප්‍රකාශ නිකුත්කිරීම විහිළුවක් බවද පවසයි.

 ''අවසන් එකඟතාවකට ඇවිල්ලත් නෑ. තත්ත්වය එසේ තිබියදී එක් එක්කෙනා ඒ ගැන තම තමන්ට කැමැති විදියට අදහස් දක්වනවා. ඒක මහ විහිළුවක්. ඊට කලින් අපි මහ මැතිවරණයක් ගන්න ආණ්ඩුවට බල කරන්න ඕනෑ. ඒ අතරම පළාත් සභා ඡන්දයකට යන්න ඕනෑ'' යයි ඔහු අවධාරණය කර සිටියි.

තවම සාකච්ඡා කරලත් නැහැ : 

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවම සාකච්ඡා කර හෝ තීරණයක් ගෙන නොමැති බව ද වාසුදේව නානායක්කාර මහතා පවසයි.

තත්ත්වය එසේ තිබියදී විවිධ පාර්ශ්වයන් ඒ ගැන අනාවැකි කීම විහිළුවක් බවද හෙතෙම කියා සිටියි.

ජනාධිපතිවරණයට සූදානම් වන සේම පළාත් සභා මැතිවරණය හෝ මහ මැතිවරණයකට යෑම සඳහා ආණ්ඩුවට බලකළ යුතු බවද මන්ත්‍රිවරයා පවසයි.

''ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන හෝ එය පැවැත්වීම ගැන තවම අවසන් එකඟතාවකට පැමිණිලා නෑ. සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වී ඒ ගැන කතා කරලා නෑ.'' ඔහු වැඩිදුරටත් කියා සිටියි.

''ගෝඨා තවමත් ඇමරිකානුවෙක්''

මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලද ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය තවමත් ඉවත්කර නොමැති බවද වාසුදේව නානායක්කාර මහතා 'අනිද්දා' පුවත්පතට අනාවරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බවට මෙතෙක් ඒකාබද්ධ විපක්ෂ නායකයින්ට දැනුම්දී නොමැති බවත් එසේ පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබේනම් එය මුලින්ම දැනුම් දෙනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.