ගම්පහ පරාක්‍රම විදුහලේ විදුහල්පති වවුචරෙන් වැඩක් දීලා !

ගම්පහ - බණ්ඩාරවත්ත පරාක‍්‍රම මහා විද්‍යාලයීය සිසුන්ට මෙම වසරට 'පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා වන තිළිණපත' මේ වන විටත් නිකුත් කර ඇති අතර මෙවර මෙම තිළිණ පත ගම්පහ නගරයේ පිහිටි මහා පරිමාණයේ පෞද්ගලික රෙදිපිළි අලෙවි සැළක ගිණුම් අංකය සඳහන් කර විදුහල්පතිවරයාගේ නිල මුද්‍රාව යටතේ නිකුත් කර ඇති බව දෙමව්පියන් පවසයි.
එම තිළිණපත්වල මීට පෙර වසරවල දී ගිණුම් අංකයක් සටහන් කර නොතිබුණු බවත් මෙවර තම දරුවන් සඳහා මෙම තිළිණපත්වලින් පෙර වසරවලදී මෙන් තමන්ට පහසු ඕනෑම ස්ථානයක වෙළෙඳසළකින් නිමි පාසල් ඇඳුම් හෝ රෙදි ලබාගැනීමට අවස්ථාව අහිමිකර ඇති බවත් ඔවුන් කියයි. මෙවර ගම්පහ නගරයේ එක සුපිරි වෙළෙඳසැළක් ඉලක්ක කර ගනිමින් විදුහල්පතිවරයා ගිණුම් අංක සටහන් කරමින් තිළිණ පත් නිකුත් කිරීම නිසා දෙමාපියන් ගැටලූ රැසකට මුහුණපා තිබේ.

තම නිවෙස් අසල වෙළෙඳසැල්වලින් රෙදි හෝ නිමි ඇඳුම් තම පාසල් දරුවන්ට මෙම තිළිණ පත් යොමුකර ලබාගැනීමට හැකියාව තිබියදී තිළිණපතේ සඳහන් වෙළෙඳසැළට පැමිණීමට සිදුවීම ගැන දැඩි දෙමාපිය විරෝධතාවයක් විදුහල්පතිවරයාට යොමුව තිබේ.

දෙදහස් පන්සීයකට අධික සිසු දරුවන් ඉගෙනුම ලබන මෙම පාසල තුළින් එකම සුපිරි වෙළෙඳසළක් ඉලක්ක කර ගනිමින් මෙලෙස විදුහල්පතිවරයාගේ අභිමතයට .පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා වන තිළිණපත. යොමු කිරීම සම්බන්ධයෙන් බලධාරීන් පරීක්‍ෂණයක් කළ යුතු බවද දෙමව්පියන් කියා සිටී.

මෙම තිළිණපත් ලැබීමටත් පෙර සමහර දෙමවුපියන් තිළිණපත හිලව් කිරීමේ අභිලාෂයෙන් දරුවන්ට රෙදි හෝ නිමි ඇඳුම් ලබාගෙන ඇති අතර ගිණුම් අංක සඳහන් තිළිණපත් විදුහල්පතිවරයා විසින් නිකුත් කිරීම නිසා ඔවුන් මහත් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණපා ඇත. මෙම තිළිණපත් සඳහා මෙලෙස කටයුතු කිරීම සහ නිල නොලත් ලෙස පාසලේ සිදුකරන මුදල් එකතු කිරීම් සම්බන්ධවද බලධාරීන්ගේ අවධානය වහා යොමු කරන මෙන් එම දෙමව්පියන් ඉල්ලා සිටී.