මෛත්‍රීපාලව සටනට පාවිච්චි කරන හැටි ගැනත් GLගේ පැකේජය ගැනත් විමල් කියයි

නව ව්‍යවස්ථාවට එරෙහි තම සටනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව යොදාගත හැකි නම් යොදාගත යුතු බවත් ඊට පහසුවීම සඳහා එතුමාටත් සහභාගී විය හැකි නව පෙරමුණක් ඉක්මනින් නිර්මාණය කළ යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ "කිරුළ නොරටුන්ට - අවුල මෙරටුන්ට"මැයෙන් ඊයේ (30) පැවති රැස්වීමක් අමතමිනි. විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කරන ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙහි සඳහන් 'නොරටුන්' ගණයට වැටෙන ඇමරිකානු පුරවැසියකු වීම විනෝදජනක කරුණකි.

තමන් ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පැකේජයට විරුද්ධ වූ බවත් එදා NGO කාරයින් ජවිපෙට ජාතිවාදීන් කියූ බවත් අද පැකේජයට එහා ගිය එකක් රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඒමට යන විට NGO කණ්ඩායම් සමඟ එක්ව ජනතා විමුක්ති පෙරමුණත් තමන්ට ජාතිවාදීන් යැයි චෝදනා කරන බවත් වීරවංශ මහතා සඳහන් කළේය. මෙයත් තරමක් හාස්‍යජනක වන්නේ එදා පැකේජය නිර්මාණය කළ, වීරවංශලා විසින්ම 'පැකේජ් පප්පා' ලෙස හැඳින්වූ ජී. එල්. පීරිස් මහතා අද වීරවංශලාගේ පොහොට්ටු පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම නිසාය.