මන්ත්‍රී මර බිය නිසා කෝටි 10ක් වියදම් කර පාර්ලිමේන්තුවට අලුතෙන් විදුලි සෝපාන

පාර්ලිමේන්තුවේ දැනට පවතින විදුලි සෝපාන සියල්ල ඉතා ඉහල තත්ත්වයේ පවතින බවත්, ඒවා තව වසර 15ක පමණ කාලයක් පාවිච්චි කිරීමට හැකි බවත්, පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ලැසිල් ද සිල්වා මහතා කියා සිටී.
පසුගිය දිනක මන්ත්‍රීවරු පිරිසක් සමඟ එම විදුලි සෝපානය ක්‍රියාවිරහිතවීම නඩත්තු කටයුතු සිදු නොකිරීම නිසා ඇතිවූවක් විය හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.

එනිසා අදාළ විදුලි සෝපාන සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු තත්ත්වයක් නොවන බවද පවසන ඒ මහතා දැනට පාර්ලිමේන්තුවේ සවිකර ඇති විදුලි සෝපාන වෙනුවෙන් මිලදී ගත් අමතර කොටස් විශාල ප්‍රමාණයක්ද ඇති බව රාවය පුවත්පතට හෙළිකර තිබේ.

කෙසේවුවද, අදාළ විදුලි සෝපාන මේ වන විට වසර 35ක් පමණ පැරණි ඒවා බව කියමින් පාර්ලිමේන්තුවේ ඇති විදුලි සෝපාන 10ක් ඉවත්කර අලුතින් සවිකිරීමට රුපියල් මිලියන 100ක මුදලක්ද වෙන්කරගෙන තිබේ.

මන්ත්‍රීවරු 12 දෙනෙකු ගමන් කරමින් සිටියදී ක්‍රියාවිරහිත වූ පාර්ලිමේන්තු විදුලි සෝපානය එසේ අක්‍රිය වීමට හේතුව හදිස්සි කාර්මික දෝශයක් බවට පාර්ලිමේන්තුවට වාර්තා කළද හයදෙනෙකුට යා හැකි සෝපානයේ 12ක් යාම එය අක්‍රියවීමට හේතුව බව සමාජ මතය වී තිබේ.

ලංකාවේ සෝපාන අනතුරු

මගී සෝපානවලට අවුරුදු 150 ක පමණ ඉතිහාසයක් ඇති අතර නවීන ආරක්ෂණ ක්‍රමවේද සමග වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන සෝපාන පතුල් මහල (Basement) වෙත කඩා වැටීමට ඇති හැකියාව සාපේක්ෂව ඉතා අඩු අගයක් ගන්නා බව ඒ පිළිබඳ විශේෂඥ මතය වේ.

ඔවුන් පවසන්නේ වැඩි වශයෙන් සෝපාන ආශ්‍රිත අනතුරු වාර්තා වන්නේ එහි දොර වැසෙන අවස්ථාවේදී ශරීරයේ කොටස් ඊට සිරවීම නිසා බවයි.

සෝපාන නිසා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මාරක අනතුරු කිහිපයකි.

ඒ අතරින් 2018 පෙබරවාරි 18 වැනිදා බොරැල්ල වනාත සහස්පුර නිවාස සංකීර්ණයේ සිදු වූ අනතුරකින් විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු මරණයට පත්වීම, 2018 අප්‍රේල් 14 වැනිදා ගල්කිස්ස, ගාලු පාර අසල පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක විදුලි සෝපානයට සහ බිත්තියට සිර වීමෙන් තරුණයෙකු මියයාම, 2018 දෙසැම්බර් 29 වැනිදා කොළඹ, නවම් මාවතේ පිහිටි සමාජ ශාලාවක විදුලි සෝපානයක සිදු වූ අනතුරකින් රගර් ක්‍රීඩකයෙකු මරණයට පත්වීම ප්‍රධාන වේ.

තත්ත්ව සහතිකේ

මේ අතර, විදුලිබල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සෝපානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වසරකට වරක් සහතිකයක් ලබා ගත යුතු බවටත් එය සෝපානවල ප්‍රදර්ශනය කළ යුතු බවටත් වන කැබිනට් යෝජනාවක් ගෙන එන බව කියා සිටී.

සෝපාන ආශ්‍රිත අනතුරු සිදුවුවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු නොවන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ දැක ගත හැකි බවද අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාව වෙත සෝපාන ගෙන්වන ලද සමාගම්වලින් කළ විමසීමකදී 25,000 අධික සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ඇතැයි තහවුරු වී ඇති බව කී අමත්‍යවරයා රජයේ ආයතනයක් සහ පුද්ගලික අංශයේ ආයතනයක් ඒකාබද්ධව සෝපාන හා ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බව සඳහන් කළේය.

අදාළ තත්ත්ව සහතිකය නොමැති විට ගොඩනැගිල්ලේ හිමිකරුට දඬුවම් ලබා දිය හැකි ක්‍රමවේදයක් සැකසීම සිය අරමුණ බවද ඔහු පැවසීය.