‘‘ගබ්සාවකට ගාස්‌තුව 25000 යි, දිනකට ගබ්සා හත අටක්‘‘ රූමත් තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ගන්න රජයේ දොස්තර කොටුකරගත් සුපිරි මෙහෙයුම

වෛද්‍ය වෘත්තියට සමාජයේ තියෙන්නෙ ඉහල පිළිගැනීමක්. නමුත් ඇතැම් වෛද්‍යවරුන් විසින් සිදුකරන ඇතැම් ක්‍රියාවන් නිසා වෛද්‍ය වෘත්තියේ ගරුත්වයට සිදුවන්නේ ඉමහත් හානියක්. මුදල් ඉදිරියේ සිය වෘත්තීය ගරුත්වය පාවා දෙමින් සමස්ථ වෛද්‍ය වෘත්තියටම නිගා කළ වෛද්‍යවරයෙකු පිළිබඳ එවැනි පුවතක් නිකවැරටිය ප්‍රදේශයෙන් අසන්නට ලැබුනා.

රජයෙන් වැටුප් ලබන ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන එම වෛද්‍යවරයා කලක් තිස්සේ රූමත් තරුණියන්ගෙන් ලිංගික අල්ලස් පවා ලබා ගනිමින් අනවසර ගබ්සා මධ්‍යස්ථානයක් සිදුකරගෙන යන බවට වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුනු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සාක්ෂි සහතිව වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ සූක්ෂම මෙහෙයුම පිළිබඳ සතිඅන්ත පුවත්පතක් මෙලෙස වාර්තා කර තිබුණා. මෙහිදී වෛද්‍යවරයාගේ නම වෛද්‍ය මරසිංහ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇත.

වෛද්‍ය මරසිංහ කලක් තිස්සේ නිකවැරටිය නගර මධ්‍යයේ සිය පෞද්ගලික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර ඊට අමතරව රාජකාරී වශයෙන් නිකවැරටිය ආසන්න වෙනත් ප‍්‍රදේශයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අනුයුක්තව වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නෙක්ය.

කලක් තිස්සේ ඔහුට අයත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වෛද්‍ය ලෑල්ලට මුවාවී නීතිවිරෝධී කටයුත්තක නියැළී ඇති වෛද්‍ය මරසිංහ සිය උසස් වෘත්තිය යොදා ගනු ලබන්නේ ශිෂ්ට සම්පන්න සමාජය විසින් කිසිසේත් අනුමත නොකරන පහත් කි‍්‍රයාවක් සිදුකිරීම පිණිසය. ඒ හරහා වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය මරසිංහ උපයා ඇති ධනස්කන්දය අති විශාලය. සිය ප‍්‍රධාන ආදායම් මාර්ගය ලෙස ‘ගබ්සාව’ හෙවත් ගමේ ගොඬේ භාෂාවෙන් ‘‘බඩ හේදීම’’ සිදුකරන වෛද්‍ය මරසිංහ ඒ බවක් පිටස්තර ලෝකයෙන් වසන්කිරීම පිණිස යොදාගත් උපක‍්‍රමය වී ඇත්තේ තමන් පවුල් සෞඛ්‍ය උපදේශනය සහ ලිංගාශ‍්‍රිත රෝග සඳහා උපන් හපන්කම් දැක්වීමට සමත් වෛද්‍යවරයෙක් බවත් තමන් වෙත පැමිණෙන රෝගීන් බහුතරයක් එවැනි ගැටලූ සඳහා ප‍්‍රතිකාර පිණිස පැමිණෙන බවත්ය. වෛද්‍ය මරසිංහ නිකවැරටිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ වෛද්‍යවරයෙක් බවට පත්වන්නේ ඒ ආකාරයෙන්ය. මරසිංහ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් බැවින් බොහෝ දෙනෙක් තුළ ඔහු පිළිබඳ සැකයක්ද නොපැවතී අතර මරසිංහ විසින් කලක් තිස්සේ සිදුකරගෙන ගොස් තිබූ ‘බඩ සේදීම’ යනු මේ සියල්ලට යටින් සිදුකළ රහස් මෙහෙයුමක් වී ඇත.

ඉකුත් 09 වැනි දිනද සුපුරුදු පරිදි තම රාජකාරී කටයුතු ආරම්භ කළ වෛද්‍ය මරසිංහ සිය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන් පරීක්‍ෂාව ආරම්භ කරන්නේය. ඒ වනවිටද රෝගීන් කීපදෙනෙක් වෛද්‍යවරයා මුණගැසීම පිණිස තම තමන්ගේ වාරය එනතුරු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳී සිටි අතර එම පිරිස අතර මැදිවිය ඉක්මවා නොගිය පිරිමි පුද්ගලයෙක්ද විය. සිය වාරය පැමිණි පසු වෛද්‍ය මරසිංහ මුණගැසීමට ගිය එම පුද්ගලයා සිය අවශ්‍යතාවය වෛද්‍යවරයා හමුවේ නොසඟවා ප‍්‍රකාශ කරන අතර එහිදී එම පුද්ගලයා විසින් ප‍්‍රකාශ කර සිටින්නේ අනපේක්‍ෂිත අයුරින් තම බිරිඳ ගැබිනියක් බවට පත්ව ඇති බවත් එම දරු ගැබ විනාශ කර දැමීමට වෛද්‍ය මරසිංහගේ උපදෙස් පතා පැමිණි බවත්ය.

සතියකට එවැනි ගැටලූවලින් පෙළෙන දහදෙලොස් දෙනෙක් තමන් සොයා පැමිණීම වෛද්‍ය මරසිංහට අරුමයක් නොවීය. මේ පැමිණ සිටින්නේද එම ගොඩට අයත් එක් පුද්ගලයෙක්ය. තමන් ලබාදෙන සේවයට අය කරන වෛද්‍ය ගාස්තුව රුපියල් 25000 ක් බව පවසා ඒ සඳහා දිනයක්ද අදාළ පුද්ගලයා වෙත ලබාදෙන මරසිංහ අවසානයේදී තමන් අභිමුව සිටින පුද්ගලයා වෙත සිනහවකින් සංග‍්‍රහ කරන්නේ ‘‘බය වෙන්න එපා...’’ යැයි නොකියා කියන අයුරින්ය.

එම හමුවීම වෛද්‍ය මරසිංහ විසින් එතෙක් කලක් සිදුකළ නීතිවිරෝධී ගබ්සා කර්මාන්තයේ තීරණාත්මක මුණගැසීමක් වී ඇත. ඒ බවක් වෛද්‍ය මරසිංහ කිසිසේත් නොදැන සිටි අතර මුදල සිය ආත්මය කරගත් මරසිංහට ඔහු මුණගැසීමට පැමිණි අමුත්තා තවත් එක් ගනුදෙනුකරුවෙක් පමණක් වී ඇත.

එදින සිය බිරිඳට ගබ්සාවක් සිදුකළ යුතු බව පවසමින් වෛද්‍ය මරසිංහව මුණ ගැසෙන්නේ වෙස්වලාගත් පොලිස් නිලධාරියෙක්ය. ඔහු වලාන දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව රාජකාරී කරනු ලබන අතර ඔහු වෙස්වලාගත් පුද්ගලයෙක් ලෙස නිකවැරටිය බලා පිටත්ව ගොස් ඇත්තේ මෙම නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානය පිළිබඳ හොර රහසේ කරනු ලබන මූලික විමර්ශන කීපයකින් අනතුරුවය.

වසර ගණනක් තිස්සේ නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගොස් තිබූ මෙම ගබ්සා මධ්‍යස්ථානය පිළිබඳ මූලික තොරතුරු වාර්තා වී ඇත්තේ වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත මහතා වෙතය. ඔහු වෙත ලැබෙන පෞද්ගලික තොරතුරක් මත විමර්ශන ආරම්භ කරන වලාන දූෂණ මර්දන ඒකකය මෙම වෛද්‍යවරයා සතු පෞද්ගලික තොරතුරු රැසක් අනාවරණය කර ගන්නා අතර මෙහෙයුමේ මූලික අදියර වන වෛද්‍යවරයා මුණගැසීම පිණිස එක් පොලිස් නිලධාරියෙක් නිකවැරටිය බලා පිටත්ව ගොස් ඇත්තේ ඉන් අනතුරුවය.

එලෙස ඉකුත් 09 වැනිදා නිකවැරටිය බලා පිටත්ව යන පොලිස් සැරයන්වරයා නැවතත් වලාන දූෂණ මර්දන ඒකකය වෙත පැමිණෙන්නේ අදාළ ජාවාරම පිළිබඳ වැදගත් තොරතුරු රැසක්ද සමගින්ය. තමන් වෛද්‍ය මරසිංහ මුණගැසුණ ආකාරයත් එහිදී කතිකා කරගත් කරුණු කාරණා ආදියත් පිළිබඳ තම ඉහළ නිලධාරීන් දැනුවත් කරන පොලිස් සැරයන්වරයා ඊළඟට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ දළ අදහසක්ද තම ඉහළ නිලධාරීන් හමුවේ ඉදිරිපත් කරන්නේය.

සියල්ල සාවධානව අසා සිටින සහකාර පොලිස් අධිකාරිවරයා ඉන් අනතුරුව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් අතපත්තු අමතමින් සඳහන් කර සිටින්නේ එම වැටලීම සඳහා වෙනම නිලධාරීන් කණ්ඩායමක් පත්කොට නිකවැරටිය බලා පිටත්කොට හරින ලෙසය. ඒ අනුව උ.පො.ප. ආර්. එම්. ජයරත්නගේ නායකත්වයෙන් යුත් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා නම් කරනු ලබන්නේය. එම කණ්ඩායමට පොලිස් කොස්තාපල්වරියක්ද අයත් විය.

මෙම මෙහෙයුමේ දෙවැනි අදියර ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව ඉකුත් 14 දා එම පිරිස නිකවැරටිය බලා පිටත්ව යන්නේය. ඔවුන් එලෙස පිටත්ව ගොස් ඇත්තේ වෛද්‍ය මරසිංහ විසින් අදාළ ‘‘ගබ්සාව’’ සිදුකිරීමට ලබාදුන් දිනය 14 වැනිදා වීමත් ඒ සඳහා ඔහු විසින් නියමිත වේලාවක් ලබාදී තිබීමත් හේතුවෙන්ය.

එදිනද වේලාසන නිකවැරටිය බලා පිටත්ව යන පොලිස් කණ්ඩායමට අයත් පො.සැ.ජයලාල් (428) සාමාන්‍ය පුද්ගලයෙක් ලෙසත් කාන්තා පොලිස් කොස්තාපල් දිල්කි (8415) ඔහුගේ බිරිඳ ලෙසත් ව්‍යාජ රංගනයක නිරත වී ඇත.

ඊට පෙර අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය පරීක්‍ෂා කිරීම පිණිස නිකවැරටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගන්නා එම නිලධාරීන් කණ්ඩායම ඉන් අනතුරුව කොටස් දෙකකට බෙදී මෙම වැටලීම සිදුකිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පොලිස් සැරයන්වරයා සහ කාන්තා පොලිස් කොස්තාපල්වරිය අඹුසැමි යුවළක් ආකාරයෙන් වෛද්‍ය මධ්‍යස්ථානයට පිවිස ඇති අතර ඒ වන විට වෛද්‍ය මධ්‍යස්ථානය තුළ රැඳී සිට ඇත්තේ රෝගීන් කීපදෙනෙකුත් පමණය. ඒවන විට අනිකුත් පොලිස් නිලධාරීන් පිරිස වෛද්‍ය මධ්‍යස්ථානයට මඳක් එපිටින් කිසිවෙකුට සැක නොසිතෙන ආකාරයෙන් රැඳී සිට ඇති අතර ඔවුන්ගේ අරමුණ බවට පත්ව තිබී ඇත්තේ යම් තොරතුරක් ලද විගස අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය වැටලීමය.

මේ අතර වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ළඟාවූ වෙස්වලාගත් පොලිස් යුවළ එහි සේවිකාවක් අමතා කියා සිටින්නේ තමන් වෛද්‍යවරයා මුණ ගැසීමට පැමිණි බවත් ඒ සඳහා අංකයක් ලබාදෙන ලෙසත්ය. එය කාරුණික ලෙස ප‍්‍රතික්‍ෂේපකර සිටින සේවිකාවක් පවසා සිටින්නේ වෛද්‍ය මරසිංහව මුණගැසීමට නම් කලින් දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු බවත්ය. එහිදී පොලිස් සැරයන්වරයා සේවිකාව අමතමින් ප‍්‍රකාශ කර සිටින්නේ තමන් ඉකුත් 9 වැනි දින වෛද්‍යවරයා මුණගැසී සියලූ තොරතුරු ප‍්‍රකාශ කළ බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස තම බිරිඳ ද සමඟ එදින (14දා) වෛද්‍යවරයා මුණ ගැසීමට පැමිණි බවත්ය.

එසේ පැවසීමත් සමග ඔවුන් පිළිබඳ විශ්වාසය ඇති කර ගන්නා වෛද්‍ය මධ්‍යස්ථාන සේවිකාව නැවත වරක් පොලිස් සැරයන්වරයා අමතමින් ප‍්‍රකාශ කර ඇත්තේ වෛද්‍යවරයා මුණගැසීමට පෙර රුපියල් දෙදහසක අත්තිකාරම් මුදලක් අවශ්‍ය බවය.

එම ඉල්ලීම පිළිගන්නා පොලිස් සැරයන්වරයා නියමිත මුදල ඇය වෙත ලබාදී ඇත. ඉන් අනතුරුව සේවිකාව විසින් පවසා ඇත්තේ වෛද්‍යවරයා පැමිණෙන තෙක් වෛද්‍ය මධ්‍යස්ථානයේ අසුන්ගෙන හිඳින ලෙසය.

කෙමෙන් කෙමෙන් කාලය ගතව යෑමත් සමග ප.ව.1.00 ට පමණ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම පිණිස වෛද්‍ය මරසිංහ සිය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත. ඒ අතරතුර කාලය තුළ අඹුසැමියන් ලෙස වෙස් වලාගත් පොලිස් යුවළ අදාළ ස්ථානයේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ උකුසු ඇස යොමුකරමින් සියුම් නිරීක්‍ෂණයක යෙදී ඇත. ඒ අනුව රෝගීන් කීපදෙනෙක්ම පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පොලිස් යුවළ වෛද්‍යවරයා ඉදිරියේ පෙනී සිට ඇත.

ඒ වනවිටද එක් කාන්තාවක් වෛද්‍යවරයා රැඳී සිටින කාමරයේ සයනයක් මත දිගාවී සිටින අයුරු පොලිස් සැරයන්වරයා දකින අතර එම දර්ශනය දැකීමත් සමඟ ඔහුගේ සිතට ඒ පිළිබඳ යම් කුතුහලයක් ඇතුල්වී ඇත. ඒත් සමගම වෛද්‍යවරයා පොලිස් යුවළ අමතමින් සඳහන් කර සිටින්නේ තමන්ට දරු ගැබ පරීක්‍ෂාකර බැලිය යුතු බවය. එයට බාධාවක් බවට පත්වන්නේ ඒ වන විට පොලිස් කොස්තාපල්වරිය ඩෙනිම් කලිසමකින් සැරසී සිටීමය. දරු ගැබ පරීක්‍ෂා කර බලා අවශ්‍ය ගබ්සාව සිදුකිරීමට නම් ගවුමක් හැඳ සිටිය යුතු බව පවසන වෛද්‍යවරයා වැඩිදුරටත් පොලිස් යුවළ අමතා සඳහන් කර ඇත්තේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටතට ගොස් ගවුමක් රැගෙන නැවත පැමිණෙන ලෙසය.

එම නියෝගයට අවනත වන වෙස්වලාගත් පොලිස් යුවළ එම ස්ථානයෙන් පිටතට පැමිණි වහාම වෙනත් ස්ථානයක රැඳී සිටි පොලිස් කණ්ඩායම අමතමින් සඳහන් කර ඇත්තේ අදාළ සෝදිසියට සුදුසුම මොහොත පැමිණ ඇති බවත් හැකි ඉක්මනින් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ළඟාවන ලෙසත්ය.

ගතව ගොස් ඇත්තේ ඉතාමත් සුළු කාලයක්ය. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වෛද්‍ය මධ්‍යස්ථානය වටලන පොලිස් නිලධාරීන්හට දකින්නට ලැබෙන්නේ සැකකාර වෛද්‍යවරයා විසින් ළදරු කළලයක් පිටතට ගන්නා ආකාරයයි. පොලිසිය වෛද්‍ය මධ්‍යස්ථානය තුළට කඩා පනින විටත් එම ළදරු කළලයෙන් වැඩි කොටසක් පිටතට ගෙන තිබී ඇත.

සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට එය ප‍්‍රමාණවත් සාක්‍ෂියක්ය. මෙරට කි‍්‍රයාත්මක දණ්ඩ නීති සංග‍්‍රහයේ 303 වගන්තියේ සිට 309 වගන්තිය දක්වා සඳහන් කරුණු ඔස්සේ කි‍්‍රයාත්මක වන පොලිසිය අදාළ වෛද්‍යවරයා ඇතුළු නීතිවිරෝධී ගබ්සා සඳහා යොදාගත් උපකරණ රාශියක් අත්අඩංගුවට ගන්නා අතර ගබ්සාවට ලක්වෙමින් සිටි කාන්තාවද පොලිස් භාරයට ගෙන රෝහල්ගත කරනු ලබන්නේය.

ඉන් අනතුරුව සැකකාර වෛද්‍යවරයාගෙන් ප‍්‍රශ්න කරනු ලබන පොලිසිය වසර ගණනාවක් පුරා ඔහු විසින් සිදුකළ සාපරාධී ජාවාරම පිළිබඳ සියලූ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්වන්නේය. එම තොරතුරුවලට අනුව අදාළ සැකකාර වෛද්‍යවරයා විසින් එවැනි නීතිවිරෝධී ගබ්සා හත අටක් සතියක් තුළ සිදුකරන අතර ඒ සඳහා එක් අයකුගෙන් අයකරනු ලබන මුදල් රු.25000 ක්ය. මේ ආකාරයට ඔහු විසින් මෙම නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානය වසර 10 අධික කාලයක් පවත්වාගෙන ගොස් ඇත. ඒ අතර තුර සාමාන්‍ය රෝගීන්ටද ප‍්‍රතිකාර සිදුකර ඇති මෙම සැකකාර වෛද්‍යවරයා වෙත ගබ්සා සිදුකර ගැනීම පිණිස පිටපළාත්වල සිට කාන්තාවන් බහුල වශයෙන් පැමිණ ඇත.

එලෙස පැමිණෙන ඇතැම් රූමත් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් පවා ඉල්ලා සිටීමට තරම් පහත් මානසිකත්වයකින් පසුවී ඇති මෙම වෛද්‍යවරයා 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනම ජීවත්වන බවත් සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ප‍්‍රදේශයේ පිහිටි නිවසක තනිව ජීවත්ව සිට ඇති බවත්ය. වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකිරීමත් සමග රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක්වූ සැකකරුගේ සැබෑව රට හමුවේ හෙළිදරව් වූ අතර එතෙක් දිනක් ඔහු විසින් සිදුකර ඇත්තේ ගෞරවනීය වෘත්තියක් වන වෛද්‍ය වෘත්තියට නිගා කිරීමක්ය.

‘බඩ හේදීම’ පමණක් සිය වෘත්තිය කරගත් ‘හොර දොස්තරුන්’ බහුල රටක රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් ලෙස සැකකරු විසින් කලක් තිස්සේ සිදුකරගෙන ගොස් තිබෙන්නේ අහස පොළොව නූහුලන තරම් බරපතළ අපරාධයක් බැවින් ඊට නිසි දඬුවම් නුදුරේදී ඔහුට විඳීමට සිදුවන අතර ඉකුත්දා නිකවැරටියෙන් වාර්තා වූ මෙම සිදුවීමෙන් පැහැදිලිව පෙනී යන්නේ කුමන තරාතිරමක පසුවූවද නීතියේ ඇසට වැලි ගසමින් දිගින් දිගටම ජාවාරම් ආදියේ යෙදෙන්නන් කුමන මොහොතක හෝ වැරදිකරුවන් වන බවය.

මෙම වැටලීම සඳහා උ.පො.ප. ආර්.එම් ජයරත්න, පො.සැ. ජයලාල්, පො.කො. රංගන (38664), පො.කො. උදය කුමාර (84889), පො.කො. මධුශංඛ (85150), පො.කො. කුමාර (46842), පො.කො. රාජගුරු (34968), කා.පො.කො. දිල්කි (8415), පො.සැ.රි. අජිත් (11919) සහභාගි වූහ.

රුවන් ජයවර්ධන - දිවයින පුවත්පත