ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල්ගේ රක්ෂිත කාලය තව දිගු වෙයි

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇති බව ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි පවසනවා.

ඔවුන් දෙදෙනා අනිද්දා දින යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී තවත් මසකට ඔවුන්ගේ රක්ෂිත කාලය දීර්ඝ විය හැකි බවටයි නීතිඥවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඩුබායි පොලීසිය සිදුකරමින් පවතින විමර්ශන අවසන් නොවීම හේතුවෙන් මෙලෙස රක්ෂිත කාලය දීර්ඝ වනු ඇති බව ඔහුගේ අදහසයි.

කෙසේ වෙතත්, තමන් යළිත් එළඹෙන 2 වන දා ඩුබායි වෙත ගොස් අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසියට කරුණු ඉදිරිපත් කරන බව නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි වැඩිදුරටත් සඳහන් කළා.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ තවත් පාතාල නායකයින් කිහිප දෙනෙකු මෙන්ම ගායක අමල් පෙරේරා, නදීමාල් පෙරේරා ඇතුළු පිරිසක් ඩුබායිහි තරු පංතියේ හෝටලයක පැවති සාදයකදී  අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 05 වනදායි.