පානදුර රෝහලට පැමිණි වයෝවෘද්ධ පියෙකු ආරක්ෂක නිළධාරීන් විසින් ATM කුටියක් තුලට ඇද දමයි..!

පානදුර මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වයෝවෘද්ධ පියෙකු රෝහලේ ආරක්ෂක නිළධාරීන් විසින් පානදුර මූලික රෝහල ඉදිරිපිට පිහිටි ATM යන්ත්‍ර කුටිය තුලට ගෙනවිත් දමා තිබෙනවා. එම පියා ප්‍රථමයෙන්ම රෝහල ඉදිරිපිට ඇති ගසක් අසලට ගෙනවිත් දැමීමට උත්සාහ කර ඇති අතර එම ස්ථානයේ සිටි ත්‍රීරෝද රථ රියදුරන් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් සමඟ එම පියා  ATM යන්ත්‍ර කුටිය තුලට දමා ගොස් තිබෙනවා.

හිසේ හටගත් රෝගයක් සහ කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පසුගිය 5 වැනිදා මෙම වයෝවෘද්ධ පියා පානදුර මූලික රෝහලට ඇතුළත්වී ඇති අතර ඉන් අනතුරුවයි රෝහලේ ආරක්ෂක නිළධාරීන් විසින් මෙලෙස රෝහලෙන් එළියට ඇද දමා තිබෙන්නේ.

මතුගම ප්‍රදේශයේ පදිංචි සිවු දරු පියෙකු වන ඔහුගේ බිරිඳ මියගොස් ඇති බව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළ අතර ඔහුගේ දරුවන් ඉඩම් විකුණා දමා විදේශ ගතවී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.එසේම ඔහුගේ නෑදෑයන්ද තමන්ට නොසළකන බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් රෝහල ඉදිරිපිට ත්‍රීරෝද රථ සංගමයේ රියදුරන් විසින් රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කළ අවස්ථාවේදී යම් උණුසුම්කාරී තත්වයක්ද ඇති වුනා.

කෙසේ වෙතත් රෝහල් බලධාරියෙකු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

- neth news