ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රීලනිපයට දෙන්න බෑ - 'පොහොට්ටුව' කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව ගොඩනඟන පුළුල් දේශපාලන සන්ධානයේ සභාපති ධුරය හෝ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට නොහැකි බව පොදුජන පෙරමුණ නායකයන් දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.

සාකච්ඡාවලදී පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන යෝජනාවලට එකඟවනවා හැරෙන්නට ප්‍රති විරුද්ධ යෝජනා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොහැකි වී ඇතැයි ද මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි ලෙස කලකිරී සිටින බව හෙතෙම පවසයි.

යෝජිත පුළුල් සන්ධානයේ සභාපති ධුරය හා ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි විය යුතු බවට කරුණු ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට නිහඬ වන ලෙස ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස අවවාද කර ඇත.

ශ්‍රීලනිප මන්ත්‍රීවරු රැසක් දැඩි තිරණයක !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදී ගොඩනඟන පුළුල් සන්ධානයකින් පලක් නොමැති බවත් මේ නිසා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු පක්ෂයේ නායකයන් රැසක් මාර්තු මාසය තුළදී දැඩි තීරණයක් ගැනීමට සූදානමින් සිටින බව ද එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසන්නේ,  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කිරීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණත් (පොහොට්ටුව) කොන්දේසි විරහිතව සහාය ලබාදිය යුතු බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව ද හෙතෙම අවධාරණය කර සිටියි.