පාර්ලිමේන්තු ගැටුම ගැන අහන්න CIDය කැඳවූ මන්ත්‍රීලා තුන

සුගිය නොවැම්බරයේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ නොසන්සුන්කාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමේ කොටසක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවනු ලැබ තිබේ.

 ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ප්‍රසන්න රණවීර, එම පක්ෂයේම මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ යන තිදෙනෙය. (අලුත් ගමගේ මහතා පක්ෂය මාරුකර මේවන විට අසුන්ගෙන සිටින්නේ විපක්ෂයේය)

මේ අතර ප්‍රසන්න රණවීර මහතා පවසන්නේ එම මන්ත්‍රීවරුන්ට මේ සතිය තුළ ප්‍රකාශ ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී තිබූ බවයි.

පාර්ලිමේන්තු සැසිවලට සහභාගිවීමට ඇති බැවින් ඒ බව රහස් පොලිසියට දැනුම්දී නව දින ලබාගත් බව පවසන ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ ලබාදීමට ලබන සතියේ එහි යන බවද කියා සිටී.

කෙටිකාලීන රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ඉකුත් නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුවට ගෙනෙන ලද දෙවැනි විශ්වාසභංග යෝජනාව අතරතුර කථානායකවරයා ආරක්ෂා කිරීමට පැමිණි එක් පොලිස් නිලධාරියකුට කම්මුලට පහරදීම හා පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් රණවීර මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබේ.

කෙසේවුවද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරූ ජයසූරිය මහතාට චෝදනා කරන බව ප්‍රසන්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

එම තත්ත්වය ඇතිවූයේ කථානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බවද පවසන ඔහු සිය ඉල්ලීම්වලට ඔහු කීකරු නොවූ බවද පැවසීය.

විමර්ශන දිගටම - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පාර්ලිමේන්තු කමිටු වාර්තාව මේවන විට නීතිපතිවරයාට යවා ඇති බවත්, එම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු දිගටම සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.