ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධාන කතා බොරු !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ආකාරයේ නිල සාකච්ජාවක් පවත්වා නැතැයි 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.
පළාත් පාලන මැතිවරණය ඉදිරි මාස කිහිපය තුලදී පැවැත්වීමට යෝජනා වී ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීමට දෙපාර්ශවයේ නායකයින් අතර සාකච්ජා ආරම්භ වී ඇතැයි සති අන්ත ජාතික පුවත්පතක පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් කල විමසීමකදී එබව සඳහන් කල හෙතෙම, එම වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ජා ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් තම පක්ෂයේ නායකයින් අතර එකඟතාවයක් ඇති කර ගත යුතු බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ අතර නව සන්ධානයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් වාර්තාවක් සකස් කරමින් සිටින නමුත්, එම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ ඇතුළත් නොවන බවයි.

නව සන්ධානයෙහි ව්‍යවස්ථාවට අනුව එහි සභාපතිත්වය ලේකම් ධුරය හා භාණ්ඩාගාරික ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙහි නියෝජිතයන්ට ලබාදීමට එකග වී ඇති බවත්, නව සන්ධානයෙහි විධායක කමිටුවෙන් 51% නියෝජිත ප්‍රමාණයෙන්ද පොදුජන පෙරමුණට ලබාදීමට එකග වී ඇති බවත් ඉහත කී කමිටුවේ සභාපති ඩලස් අලහප්පෙරුම මහතා එම පුවත්පතට පවසා ඇත.