අගමැති අතට ආ කොකේන් පිළිබඳ වාර්තාව තවත් පාර්ශ්වයකට - බෝලය යළිත් රන්ජන්ගේ පැත්තේ බව කිරිඇල්ල කියයි

කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර බව කියන මැතිඇමතිවරුන් සිටී දැයි සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ කමිටු වාර්තාව ඉකුත් දා පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාර දුන්නා.


මෙම මතභේදාත්මක ප‍්‍රකාශය සිදු කළ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද අදාළ පරීක්ෂණ කමිටුව හමුවේ ඉකුත් දා පෙනී සිට සාක්ෂි ලබා දීමටයි කටයුතු කළේ.

අද දිනයේ අදාළ වාර්තාව භාරදීමෙන් පසු ඒ පිළිබඳ ඉදිරි පියවර තීරණය කරනු ඇති බව කමිටුවේ සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.

එහිදී "රන්ජන් රාමනායක ඉදිරිපත් කළ චෝදනා ප්‍රකාශය අපි සටහන් කරගෙන අගමැතිතුමාට ඉදිරිපත් කළා. එතුමා කිව්වා අපිට දීපු ප්‍රකාශය CIDයටත් ලබා දීලා තියෙනවා කියලා...ඉතින් ඒ අනුව CIDය පරීක්ෂණ කරලා.. එතුමාගේ චෝදනා සනාථ කරන්න ඕන. දැන් බෝලෙ තියෙන්නේ එතුමාගේ පැත්තේ. එතුමා සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ එතුමාගේ චෝදනා සනාථ කරන්න." යනුවෙන් ද සඳහන් කළා.

කෙසේවෙත්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. චන්ද්‍රසේන කියා සිටියේ මෙම කමිටුව පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ (26) ප‍්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර බව කියන පුද්ගලයින් පිළිබඳ තොරතුරු සඟවා තබා ගැනීමට ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බවයි.