ආරක්ෂක අමාත්‍යාංශය කඹ ඇදිල්ලක : මාලි ගිය හමුදා සෙබළු අනතුරේ !

ආරක්ෂක අමාත්‍යංශයේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වලට ගිය ශ්‍රී ලංකා භට කණ්ඩායමේ දෙසීයක පමණ පිරිසකගේ ජීවිත අවදානම් මට්ටමක පවතින බව වාර්තා වේ.

මෙම අවදානම් තත්ත්වයට හේතුව වී ඇත්තේ සංග්‍රාමික ප්‍රවාහන රැලියට අයත් හමුදා වාහනවලට ජෑමර් යන්ත්‍ර සවිකරන ලෙස යුද නිලධාරින් වසර එකහමාරක් තිස්සේ රජයෙන් ඉල්ලීම් කර ඇතත් එය ඉටු නොකිරීම බව පැවසේ.
අප්‍රිකාවේ සහරා කාන්තාරය මැදින් කිලෝ මීටර් 1300 ක් පසු කරමින් සිදුකරන අතිදුෂ්කරම සාම සාධක මෙහෙයුම මෙය බවද කියවේ.

සාමය බලගැන්වීමේ මෙහෙයුම් සඳහා (Peace Enforcement) යන හමුදා භට කණ්ඩායම්වලට එරට ත්‍රස්තයන්ගෙන් මේවන විට දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල වෙමින් ඇතැයි ද පැවසේ.

දුරස්ථ පාලක උපයෝගි කරගෙන සිදුකරන මෙම බෝම්බ ප්‍රහාරයන් මැඬපැවැත්වීම සඳහා පාකිස්තානයෙන් ජෑමර් යන්ත්‍ර මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා සියලු කටයුතු අවසන්කර මේ වන විට වසර එකහමාරකට වැඩි කාලයක් ගතව ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මාලි රාජ්‍යයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට බිලි වූ සාමසාධක භටයන්ගේ ගණන 179 දක්වා වැඩිවූයේ ඉකුත් 25 වැනිදා ඩුවෙන්සා කාන්තාරය ආසන්නයේ දී දුරස්ථ පාලක බෝම්බයකින් කපිතාන් දිනේෂ් ජයවික්‍රම, කෝප්‍රල් සමන්ත විජේකුමාර දිවි පිදීමත් සමගය.

එම ප්‍රහාරයට ලක් වූ චීනයේ නිෂ්පාදිත ඩබ්ලිව්. එම්. ඉසෙඩ් වර්ගයේ රථය බෝම්බ ප්‍රහාරවලට ඔරොත්තු නොදීමෙන් මෙම දෙදෙනා මෙලෙස දිවිපිදූ අතර තවත් සෙබළකු බරපතළ තුවාල ලබා ඇති බවද පැවසේ.

මෙම ජෑමර් යන්ත්‍ර හැකි ඉක්මනින් ලබා ගැනීමට මාලි රාජ්‍යයට යන මොහොතේ පටන් ඉල්ලීම් කර ඇති අතර ජනාධිපතිවරයා ඒ සඳහා නියෝග ලබා දී තිබුණද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ කඹ ඇදිල්ල නිසා ජෑමර් යන්ත්‍ර මෙතෙක් මිලදී ගෙන නොමැත.

මෙම එක් යන්ත්‍රයක් රුපියල් කෝටියක් පමණ වන බවද ගණන් බලා ඇත.
gossip lanka