මාකඳුරේ මධුෂ් පෙන්නා මහජන මුදලින් ඩුබායි සවාරියට සූදානම් !

මිග් වංචාවේ සැකකරු උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රජයේ නිලධාරීන් ඩුබායි රාජ්‍යට ගිය ආකාරයෙන්ම මෙවරත් මාකඳුරේ මධුෂ් ගෙන්වා ගැනීම සඳහා නිලධාරී නඩයක් ඩුබායි රාජ්‍ය බලා පිටත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
පසුගිය වාරයේ ඩුබායි සංචාරයට සහභාගී වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව මෙවර පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ (TID) නිලධාරීන් මෙම සංචාරයට එක්වීමට නියමිත බව සඳහන්.

උදයංග වීරතුංග මෙරටට ගෙන්වා සඳහා ඩුබායි බලාගිය මෙරට නිලධාරීන් පිරිස ආපසු ආවේ හිස් අතිනි. අදටත් උදයංග ඩුබායි රාජ්‍යට වී යහතින් සිටී. සිදුවූයේ මහජන මුදල් නාස්තියක් පමණි. එය අධික වියදමක් දරා කෙරුණු මාධ්‍ය සංදර්ශනයක් පමණක් ම විය. මෙවරත් සිදු වීමට නියමිතව ඇත්තේ ඒ ටිකමය.

මාකඳුරේ මධුෂ් නම් පාතාල නායකයා මෙරටට භාර දෙන්නේ නම් මුලින්ම ඔහුව අත් අඩංගුවට ගත් ඩුබායි පොලිසිය ඒ පිළිබඳව සිය පොලිසියේ ජාත්‍යන්තර ඒකකයට දැනුම් දිය යුතුය. එම ජාත්‍යන්තර ඒකකය එය ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනයට දැනුම් දිය යුතු වන අතර ඔවුන් එය ශ්‍රී ලංකාව වෙත දැනුම් දිය යුතුය. සිදුවිය යුතු ක්‍රියා පටිපාටිය මෙයයි.

එහෙත් මේ කිසිවක් තවමත් සිදුව නොමැති පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ නිලධාරීන් පිරිසක් එහි යැවීම යනු මහජන මුදලින් පළමු පංතියේ ගුවන් ටිකට්පත්, පළමු පංතියේ හෝටල් කාමර සහිතව ඔවුන්ට සුපිරි සාප්පු සවාරියක් සඳහා අවස්ථාව උදාකර දීමක් පමණකි. එය උදයංග වීරතුංගගේ අත්දැකීම හරහා ම පැහැදිලි වේ.

එහෙයින් මේ සූදානම් වන්නේ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා පෙන්වා මහජන මුදල් ගසා කෑමට බව පැහැදිලිය.

මධුෂ් ගෙන්වා ගැනීමේ අවංක වුවමනාවක් ඇත්නම් කළ යුතුව ඇත්තේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොව මෙතෙක් නිවැරදිව කරගැනීමට නොහැකි වූ උදර්පණ ලිපිගොනු මෙවරවත් නිසි ආකාරයෙන් සකස් කර ගැනීමය.

-lankanewsweb